ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මධ්‍යම හා නැඟෙනහිර පළාත් ව්‍යාපෘති විධිමත්ව හා කඩිනමින්

    ජනවාරි 28, 2015
    මධ්‍යම හා නැඟෙනහිර පළාත් නාගරික සංවර්ධන කටයුතු හා ජලසම්පාදන ව්‍යාපෘති විධිමත් සැලැස්මක් යටතේ කඩිනම් කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පැවසීය.
     
    මේ දක්වා මන්දගාමී ලෙස සිදු කළ මධ්‍යම හා නැඟෙනහිර පළාත් නාගරික සංවර්ධන කටයුතු විධිමත් සැලැස්මක් යටතේ කඩිනම් කරන ලෙස නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලපවාහන අමාත්‍ය රවුෆ් හකීම් අමාත්‍යතුමා අදාළ නිලධාරින්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.
     
    අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේ අද (28) පෙරවරුවේ මධ්‍යම හා නැ‍ඟෙනහිර පළාත් සංවර්ධන කටයුතු පිළිබඳ ව අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකදී ය. 
     
    දැනට නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍යංශය හා ඊට අනුබද්ධ ආයතන මගින් මධ්‍යම පළාත හා නැඟෙනහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කර ඇති සියලු ම සංවර්ධන ව්‍යාපෘති රජයේ දින සියයයේ වැඩසටහනට මූලිකත්වය දී ක‍්‍රියාත්මක කරන ලෙසත් දැනට ක‍්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති ව්‍යාපෘති සඳහා කඩිනමින් වැඩ ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසත් අදාළ ව්‍යාපෘති භාර නිලධාරින්ට මෙහිදී උපදෙස් ලබා දෙන ලදි.
     
    නැඟෙනහිර පළාතේ උග‍්‍රව පවතින ජල ප‍්‍රශ්නයට විසදුම් ලබා දීම සඳහා දැනට වැඩ ආරම්භ කර ඇති හා වැඩ නිමවෙමින් පවතින කුඩා මධ්‍යම හා මහා පරිමාන ජල සම්පාදන ව්‍යාපෘති පිළිබඳව ද අවධානය යොමු කළ අමාත්‍යතුමා එම ව්‍යාපෘති ද කඩිනමින් ජනතාවට ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද අවධාරණය කර සිටියේය.
     
    මෙහිදී නාගරික සංවර්ධන අධිකාරිය මගින් නැඟෙනහිර පළාතේ ත්‍රීකුණාමලය, අම්පාර මඩකලපුව යන 
    දිස්ති‍්‍රක්ක හා මධ්‍යම පළාතේ මහනුවර හා කෑගල්ල යන දිස්ත‍්‍රික්කයන් ආවරණය වන පරිදි දියත්කර ඇති නගර සංවර්ධන ව්‍යාපෘති හා කුඩා නගර සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ඒ යටතේ ප‍්‍රධාන නගර ආශ්‍රිතව ඉදිකරන බස්නැවතුම්පළවල් ප‍්‍රධාන වෙළෙඳ සංකීර්ණ පොදු වෙළෙඳපොළ සංවර්ධන කටයුතු පිළිබඳවත් නගර අලංකරණ කටයුතු නාගරික උද්‍යාන හා  විධිමත් ගංවතුර කළමනාකරණය සඳහා තෙත්බිම් උදාන නවීණ ආකාරයෙන් සංවර්ධනය කිරිම පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.
     
    මෙම මහා පරිමාණ ව්‍යාපෘති සඳහා මූල්‍ය දායකත්වය සපයනු ලබන්නේ ලෝක බැංකුව, ප‍්‍රංශ හා  ඔස්ටේ‍්‍රලියානු රාජ්‍යයන්, කුඩා ව්‍යාපෘති සඳහා නාගරික සංවර්ධන අධිකාරිය, ජලසම්පාදන මණ්ඩලය හා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව යන ආයතන මගිනි.
     
    මෙම අවස්ථාවට අභ්‍යන්තර ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. තවුෆික්, අම්පාර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසිම් නාගරික සංවර්ධන ජලසම්පාදන හා ජලපවාහන අමාත්‍යංශ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් නිහාල් ප‍්‍රනාන්දු, නාගරික සංවර්ධන අධිකාරිය, ජලසම්පාදන මණ්ඩලය හා ඉඩම් ගොඩකිරිමේ සංස්ථාවේ නිලධාරින් ද එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya