ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සංවර්ධන කටයුතුවලදී ජනතාවට පීඩනයක් නොවන පරිදි කටයුතු කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස්

    පෙබරවාරි 28, 2015
    මින් ඉදිරියට දිවයිනේ අගනුවර හා සෙසු නගරවල නාගරික සංවර්ධන කි‍්‍රයාවලිය සිදු කිරීමේදී ජනතාවට පීඩනයක් ඇති නොවන පරිදි කටයුතු කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන් බව  නාගරික සංවර්ධන, ජලාපවහන හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා පැවසීය. 
     
    අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ඊයේ (26) නාගරික සංවර්ධන කටයුතු කි‍්‍රයාත්මක කිරීමේදී කොළඹ අඩුපහසුකම් සහිත නිවාසලාභීන් හට නිවාස ලබාදීමේදී සිදු ව ඇති අක‍්‍රමිකතා පිළිබඳ ව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ විශේෂ සාකච්ඡාවකදී ය.
     
     
    කොළඹ නගරය භෞතික වශයෙන් සංවර්ධනය කිරීමට උත්සාහ දරා තිබුණත් එහි ස්ථිර පදිංචිකරුවන්ගේ මානව අයිතිය පවා උල්ලංඝනය වන අයුරින් නීතිවිරෝධී ලෙස ඔවුන් පදිංචි ස්ථානවලින් ඉවත් කර බලහත්කාරයෙන් මෙම ව්‍යාපෘති කි‍්‍රයාත්මක කොට ඇති බව මෙහිදී හෙළිදරව් කෙරිණි. මෙම නිවාස ලබාදීමේ නිවාස අහිමි ජනතාවට විශාල අසාධාරණයක් සිදු ව ඇත. 
     
     
    එසේම නිලධාරීන් විසින් විශාල අක‍්‍රමිකතා සිදු කර ඇති බව අමාත්‍යවරයා හෙළිදරව් කළ අතර සිදු ව ඇති ජනතා විරෝධී සංවර්ධනය හා ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමේදී සිදු ව ඇති අක‍්‍රමිකතා හා දූෂණ වංචා පිළිබඳ ව විශේෂ පරීක්‍ෂණ සිදුවෙන බවත් ඒ ගැන සියලු තොරතුරු ජනතාවට ලබාදී දැනුවත් කරන බවත් අමාත්‍යවරයා කීය. 
     
     
    ඉදිරියේදී සිදු කරන සියලු සංවර්ධන ව්‍යාපෘති ජනතාව පීඩාවට පත් නොවන පරිදි උපරිම ලෙස ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි කොළඹ නගරය ප‍්‍රධාන දිවයින පුරා අනෙකුත් නාගරික සංවර්ධන කි‍්‍රයාවලිය ඉදිරියේදී සිදු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ ය.
     
     
    තවදුරටත් මේ පිළිබඳව අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,
     
     
    “විශේෂයෙන් අඩු පහසුකම් සහිත ජනාවාසයන් හි ජනතාවට නිවාස ලබාදීමේදී මෙතෙක් ලබාදී ඇත්තේ වර්ග අඩි 450ක පමණ නිවසකි. එම ප‍්‍රමාණය ඉදිරියේදී වර්ග අඩි 600 දක්වා වර්ධනය කරන අතර වර්ග අඩි 400ක නිවසක පවුලක් ජීවත් වන්නේ ඉතා අසීරුවෙන් බවත්ය.  පසුගිය රජය විසින් නිවාස ලබාදී ඇති හේනමුල්ල, ෆර්ගියුෂන් පාර, 54 වත්ත, 61 වත්ත එම ව්‍යාපෘතිවල අසාධාරණය ලක්වුණු නිවාසලාභීන් සොයා බලා ඔවුන් සාධාරණය ඉටු කරනවා.
     
     
    කොළඹ පාවෙන වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් හට මතුව ඇති දුෂ්කරතා හා වෙළෙඳාමක් නොමැතිව විශාල ගැටලු රාශියක් මතුවෙලා සමාජයේ ප‍්‍රශ්නයක් වන්නට පෙර අපි ඔවුන්ගේ දුක්ගැනවිල්ල පිළිබඳ අවධානය යොමු කොට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරනවා.“ යැයි පවසා සිටියේය.
     
     
    මෙහිදී අදහස් දැක්වූ අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා , 
     
     
    “කොම්පඤ්ඤ වීදියේ අක්කර 09ක් පුරා කි‍්‍රයාත්මක වන සංවර්ධන ව්‍යපෘති හේතුවෙන් එම ප‍්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන්ට දැඩි අසාධාරණයක් සිදුව තිබෙන බවත්, ඉන්දියාවේ ටාටා සමාගම හා පසුගිය රජය ඇතිකරගත් ගිවිසුමක් අනුව මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරමින් දැඩි අසාධරණයක් සිදුවෙලා තිබෙන බවත්, මෙම ප‍්‍රදේශයේ ස්ථිර නිවාස 400කට අධික පිරිසකට සින්නක්කර ඔප්පු තිබෙන නමුත්, පසුගිය කාලයේ මේ අක්කර 09න් ස්ථිර පදිංචිකරුවන්ට දැන් ලැබෙන්නේ අක්කර 03යි. ඉතුරු ටික සංවර්ධන කටයුතු සඳහා අරගෙන,  මේ සඳහා ජනතාව වෙනුවෙන් අධිකරණ කි‍්‍රයාමාර්ගයක් නැවතත් ගන්නා බවයි. නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු කොට සාධාරණ විසඳුමක් ජනතාව සමඟ ඇති කර ගත යුතුයි.“ යැයි කියා සිටියේය.
     
     
    නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ප‍්‍රනාන්දු, අධ්‍යක්‍ෂ ජනරාල් නයන මාවිල්මඩ යන මහත්වරු හා ව්‍යාපෘති භාර ප‍්‍රධාන නිලධාරීහු මෙම අවස්ථාවට එක්වූහ.
     
    SDF
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya