ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ලයිලා සහ සුරුක්කු දැල් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන්න ධීවර අමාත්‍යවරයාගෙන් නිලධාරීන්ට උපදෙස්

    මාර්තු 01, 2015
    ලයිලා සහ සුරුක්කු දැල් යොදාගෙන මසුන් මැරීමට බලපත්‍ර නිකුත් කිරීම වහාම අත්හිටුවන ලෙස ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතා පසුගියදා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
     
    බලපත්‍ර ලබා නොදෙන පන්න ක්‍රමයක් වන මෙයට පසුගිය වසරේ සිට විශේෂ අවසරයක් යටතේ දිස්ත්‍රික් කිහිපයක් සඳහා බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු යොදා තිබිණ. එහෙත් මින් ඉදිරියට එවැනි බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන ලෙස දැනුම් දුන් අමාත්‍යවරයා, එම පන්න ක්‍රමවලට අවසර දිය යුතු ද යන්න සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ධීවර රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් හෙට්ටිආරච්චි මහතාට උපදෙස් ලබා දුන්නේය. 
     
    දිස්ත්‍රික් සහකාර ධීවර අධ්‍යක්ෂවරු මෙන්ම ධීවර සමිති නියෝජිතයෝ පිරිසක් එම අමාත්‍යංශයේ දී ධීවර අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතා සමඟ කරන ලද සාකච්ඡාවකදී මෙම උපදෙස් නිකුත් කෙරිණ.
     
    මෙහිදී යුරෝපා මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියා මාර්ග අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට පැහැදිලි කරන ලදී. ඒ අනුව අද (01) දින සිට කර්මාන්ත කටයුතු සඳහා පිටව යන සෑම ධීවර යාත්‍රාවක් පිළිබද තොරතුරු ඒකරාශී කිරීමට පියවර ගන්නා ලෙස සහකාර ධීවර අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් නිකුත් කෙරිණ. මීට පෙර මෙම තොරතුරු එක්රැස් කිරීම සිදු වූවද ඒ ධිවර යාත්‍රා කර්මාන්ත කටයුතු නිමවා යළි ධීවර වරායට පැමිණීමේ දී පමණි. සෑම යාත්‍රාවකටම නිරීක්ෂකයෙකු යෙදවිය යුතු බවට යුරෝපා කොමිසම නිර්දේශ කර තිබුණ ද ප්‍රායෝගික දුෂ්කරතා සලකා එම කොමිසම යාත්‍රා පිළිබඳ මෙලෙස තොරතුරු රැස්කිරීමෙන් සෑහීමකට පත්වීමට එකඟ වී ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    ධීවර අමාත්‍යංශ ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් පසුගිය මැතිවරණ සමයේ බෙදා හැරීමට ගෙන්වා තිබූ භාණ්ඩ තොගයක් බෙදා හැරීම පසුව අත්හිටුවා තිබිණ. ඒවා නිසි පුද්ගලයන් තෝරා බෙදා හරින ලෙස ලෙස ද අමාත්‍යවරයා මෙහිදී සහකාර ධීවර අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබා දුන්නේය.
     
    එසේම යළි ධීවර සමූපකාර ක්‍රමය ක්‍රියාවට නංවන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් අමාත්‍යවරයා එහි මූලික රාමුව දින 100 වැඩපිළිවෙළ නිමාවීමට පෙර අවසන් කරන්නැයි ද දැනුම් දුන්නේය. ධීවර පරීක්ෂක කොට්ඨාස මට්ටමින් මෙම සමූපකාර බල ගන්වන ලෙස දැනුම් දුන් අමාත්‍යවරයා ධීවර සමූපකාර ක්‍රමය අතීතයේ දී වඩාත් ඵලදායී ලෙස ධීවරයාට සහන සැලසූ බව ද සිහිපත් කලේය.
     
    මෙහිදී ගනු ලැබූ තවත් වැදගත් තීරණයක් වූයේ සෑම ධීවර කොට්ඨාසයකට ම ධීවර කමිටුව බැගින් පිහිටුවීමයි. ධීවර නියෝජිතයන්, නිලධාරීන් මෙන්ම ඒ ඒ ප්‍රදේශවල ආගමික නායකයන් මෙම කමිටුව සඳහා යොදා ගත හැකි බව අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතා පෙන්වා දුන්නේය. එමඟින් ඒ ඒ ප්‍රදේශවල පවතින ධීවර ගැටලු ඔවුන් අතර සම්මුතියකින්ම විසඳා ගැනීමට අවස්ථාව ලැබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    මෙරට ධීවර පවුල්වල වත්මන් ආර්ථික සහ සමාජ තත්ත්වයන් පිළිබඳ සමීක්ෂණයක් සිදු කිරීමට තීරණය විය. ධීවරයාගේ වත්මන් තත්ත්වයෙන් ඔහු පෙරට ගෙන ඒම සඳහා විධිමත් වැඩපිළිවෙළක් වෙනුවෙන් එම තොරතුරු උපකාරී වන බව අමාත්‍යවරයා සඳහන් කළේය. මෙවැනි තොරතුරු සංගණනයක් සිදු වන්නේ වසර 19කට පසුව වීම ද විශේෂත්වයකි.
     
    සෑම මසකට වරක් සහකාර ධීවර අධ්‍යක්ෂවරුන් හා පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා ධීවර සමිති නියෝජිතයන් කැඳවන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya