ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ජයලලිතාගේ සිරකරු අංකය 7402 - සිරකුටි අංකය 33

    සැප්තැම්බර් 28, 2014

    අයථා ලෙස වත්කම් හිමිකර ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය අධිකරණයෙන් වැරදිකාරිය වී සිටින තමිල්නාඩු මහ ඇමති ජයලලිතා ජෙයරාම් මහත්මිය බැංගලෝර්, පරප්පන අග්‍රහාර මධ්‍යම බන්ධනාගාරයේ විශේෂිත පුද්ගලයින් (VVIP cell) සඳහා වන අංක 33 දරණ සිරකුටියේ සිරගත කර ඇති බව අද (28) ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

     

    ඇයට හිමි ව ඇති සිරකරු අංකය 7402 වේ. මෙම සිරකුටිය කාන්තා රැඳවියන් සිරකොට ඇති බැරැක්කය අසල ම පිහිටි බව ආරංචි මාර්ග පවසයි. ජයලලිතා මහත්මියට සුදු සාරියක් ලබා දී ඇති බව ද එම සිරකුටිය ඇඳක්, විදුලි පංකාවක් සහ යාබද වැසිකිළි පහසුකම්වලින් සමන්විත බව ද බන්ධනාගාර බලධාරියෙකු පවසා තිබේ.

     

    ඊයේ රාත්‍රී ඇගේ ආහාරයට සපයා ඇත්තේ කුරක්කන් පිට්ටු, ග්‍රෑම් 200ක බත් හා චපාති දෙකකි. එහෙත් ඇය එම රාත්‍රී ආහාරය ප්‍රතික්ෂේප කර ඇති අතර පලතුරු පමණක් ඉල්ලා තිබේ.

     

    එම නඩුවේ අනෙක් වරදකරුවන් වූ සසිකලා, ඉලවරාසි හා සුධාකරන් යන අයට සිරකරු අංක 7403, 7404 සහ 7405 ලබා දී තිබේ.

     

    ජයලලිතා මහත්මිය සිරකුටියට යැවීමට පෙර සිරගෙදර ක්‍රියාපටිපාටි සහ නීති පිළිබඳ ව ඇය දැනුවත් කර ඇති අතර වෛද්‍ය පරීක්ෂණයකට ද ලක් කොට තිබේ.

     

    අග්‍රහාර මධ්‍යම බන්ධනාගාරයේ ඉහළ ආරක්ෂාවක් සහිත විශේෂිත පුද්ගලයින් (VVIP cell) සඳහා වන සිරකුටියක පළමු රැඳවිය බවට පත් ව ඇත්තේ ද ජයලලිතා මහත්මිය බව ද ඉන්දීය වාර්තා පවසයි.

     

    1996 දී ඉන්දීය භාරත ජනතා පක්ෂයේ එවකට නායකයාව සිටි ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා විසින් අයථා මුදල් උපයාගැනීම සම්බන්ධයෙන් ජයලලිතා ජෙයරාම් මහත්මියට එරෙහි ව පවරන ලද නඩුව වසර 18ක් විභාග කිරීමෙන් පසු ඊයේ ලබාදුන් තීන්දුවට අනුව ඇය සිරගත කර තිබේ. ඇයට වසර 4ක සිරදඬුවමක් ද ඉන්දීය රුපියල් කෝටි 100ක දඩයක් ද බැංගලෝර් විශේෂ අධිකරණයක් මඟින් නියම කෙරිණි.

     

    මෙම නඩු තීන්දුවත් සමඟ ම තමිල් නාඩු ප්‍රාන්තය පුරා ම ප්‍රචණ්ඩකාරී ක්‍රියා පැතිරෙමින් යන බව ඉන්දීය වාර්තා පවසයි. ජයලලිතාගේ ඒඅයිඒඩීඑම්කේ පක්ෂයට හිතවාදී පිරිස් තැනින්තැන ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරත වෙමින් සිටින අතර ප්‍රාන්තය පුරා ම‍ ඇතැම් කඩසාප්පු, අවන්හල්, සුපිරි වෙළෙඳසැල් සහ සිනමාශාලා ද වසා දමා ඇති බව පැවසේ. රජයට අයත් බස්රථවලට ප්‍රහාර එල්ල වීමත් සමඟ ම බස්රථ ධාවනය දැඩි ලෙස සීමා කර ඇත. ඊයේ කාන්චිපුරම්හිදී බස්රථයක් ගිනි තැබූ බව වාර්තා විණි.

     

    තමිල් නාඩු පොලිසියේ අධ්‍යක්ෂ ජනරාල් කේ. රාමනුජම් පවසන්නේ මේ වනවිට තත්ත්වය පාලනය කර ඇති බවයි. ප්‍රාන්තය පුරා පොලිස් බලකා 39ක් නීතිය හා සාමය ආරක්ෂා කිරීමට යොදවා ඇත.

     

    විශාල ප්‍රමාණයේ හිංසාවන් සිදුකරන්නට ජයලලිතාගේ පක්ෂයේ හිතවාදීන් කටයුතු කරමින් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මැතිතුමා සහ අදාළ බලධාරීන් වෙත ලිපි මඟින් දන්වා යැවූ බව ඩීඑම්කේ නායක එම්. කරුණානිධි පවසයි. මෙම තත්ත්වය පාලනය කර ගැනීමට පොලිසියට හැකි වී නැති බවත් මහජනතාව බියට පත් ව සිටින බවත් ඔහු එම ලිපියේ සඳහන් කර ඇත.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya