මේ වන විට ඇමෙරිකාව ඇතුළු සංවර්ධිත රටවල් රැසක් ම නවීන වෛද්‍ය විද්‍යාව පිළිබඳ ව පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතිනවා. නමුත් දේශීය වෛද්‍ය විද්‍යාව හීනවීමට ප්‍රධාන වශයෙන් ම බලපා ඇත්තේ ඒ පිළිබඳ ඇති අනවබෝධය මෙන් ම ඒ සම්බන්ධයෙන් ජනතාව තුළ පමණක් නොව බටහිර වෛද්‍යවරුන් තුළ පවතින නොපිළිගැනීමයි. එය එසේ වීමට හේතුවන්නට ඇත්තේ බටහිර වෛද්‍යවරු යම් යම් දේ සොයාගැනීම් පරීක්ෂණ මගින් තහවුරු කිරීමක් සිදු කළ ද දේශීය පාරම්පරික වෛද්‍යවරයා එසේ පරීක්ෂණ මගින් ඔවුන්ගේ සොයාගැනීම් තහවුරු නොකිරීම නිසා වන්නට ඇත.
"රෝග සුවකිරීම සඳහා පාරම්පරික දේශීය සිංහල වෙදකම, ආයුර්වේදය, සිද්ධ හෝමියෝපති, යුනානි වැනි විකල්ප වෛද්‍ය ක්‍රම භාවිතාකිරීම හා ඒ පිළිබඳ පර්යේෂණ හා ඖෂධ නිෂ්පාදන දියුණු කිරීම සඳහා අප පියවර ගන්නවා. ඒ වගේම සියලු බටහිර, පෙරදිග හා දේශීය වෛද්‍ය ක්‍රම මනාලෙස සම්භාන්ධිකරණයෙන් ඒකාබද්ධ සේවාවක් සැපයීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා".
රනිල් වික්‍රමසිංහ මහතා - 2015 අගෝස්තු 13දා ඇහැලියගොඩ දී
මෙම දේශීය වෛද්‍ය ක්‍රමයන් ජනගත කිරීමට මෙන් ම ලෝ පතල කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙන් ම වත්මන් රජයේ ද අවධානය යොමු ව ඇති බව පෙර ප්‍රකාශයෙන් ම තහවුරු වන අතර ම ඒ සඳහා වූ අත්තිවාරමක් දැමීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කටයුතු කොට ඇත. ඒ අනුව යමින් සෞඛ්‍ය අමාත්‍යංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්ව ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම ආරම්භ කොට ඇති අතර මෙහි ප්‍රධාන වගකීම් සමූහය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත පැවරී ඇත. එම ව්‍යායාමය එළැඹෙන නොවැම්බර් මාසයේ දී ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානමින් පසුවේ. ඒ අනුව දේශීය සහ අනුමත ඖෂධ පිළිබඳ අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනයක් සංවිධානය කොට ඇති අතර එය නොවැම්බර් 23දා සිට 25දා දක්වා කොළඹ වෝටර්ස් එජ් හි දී පැවැත්වේ.
ඒ යටතේ සම්මන්ත්‍රණයක්, අධ්‍යාපන ප්‍රදර්ශනයක් මෙන් ම වෙළෙඳ ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ හරහා වසර 3000ක් පමණ පැරණි අපේ දේශීය වෛද්‍ය ක්‍රමය ලෝකය වෙත රැගෙන යාමට අවස්ථාව උදාවෙනු ඇත. මේ හරහා ලංකාව තුළ පවතින දේශීය වෛද්‍ය විද්‍යාවට ඇති ඉල්ලුම වැඩිවීම මෙන් ම ඒ හරහා විදේශිකයන්ද ඒ සඳහා ලංකාව වෙත පැමිණෙනු ඇත. මේ හරහා දේශීය වෛද්‍යවරයාට තම කර්මාන්තය දියුණු කරගැනීමට අවස්ථාව හිමිවේ. බොහෝ විට දේශීය වෛද්‍ය විද්‍යාව කර්මාන්තයක් නොවන අතර දේශීය වෛද්‍යවරයාට තම පාරම්පරික දැනුම උපයෝගිකරගනිමින් එවන්නක් කිරීමේ අවශ්‍යතාවයක් නොවන අතර ඔවුන්ගේ ඉලක්කය වන්නේ තම රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ පරම චේතනාව මිස මිල මුදල් උපයාගනිමින් තම දැනුම හරහා කර්මාන්තයක් ගොඩනගා ගැනීම නොවනු ඇත. නමුත් ඒ හරහා අපට රටක් වශයෙන් ලබාගත හැකි වාසි දෙස බලා කටයුතු කළ යුතුව ඇත.
මේ සඳහා ඇමරිකාව, දකුණු කොරියාව, ඉන්දියාව, නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව, ඉරානය, ජපානය, තායිලන්තය, සංගප්පූරුව, එංගලන්තය හා චීනය ඇතුළු විදේශීය රටවල රැසක් මෙම අවස්ථාවට සම්බන්ධ වන අතර ම දේශීය සමාගම් 200 ක් පමණ ද වෙළෙඳ ප්‍රදර්ශනය හා සම්බන්ධවන අතර සම්මන්ත්‍රණය සඳහා රටවල් 82 ක අමාත්‍යවරු, නිලධාරීන් සහභාගී වීමට නියමිතය. විකල්ප වෛද්‍ය ක්‍රම පිළිබඳ විද්වතුන් 500 ක් ද, මෙම සම්මන්ත්‍රණයට සහභාගී වීමට සූදානමින් සිටිති.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ මහාචාර්ය රනිල් ද සිල්වා මහතා මෙම අවස්ථාවට සහභාගිවන ලෙස දේශීය වෛද්‍යවරුන්ට ඇරයුම් කර සිටින අතර ඒ සම්බන්ධයෙන් දුරකතන අංක 0112 758 697 හෝ 0112758 704 ඔස්සේ තොරතුරු ලබාගැනීමට හැකියාව පවතින බවත් පෙන්වා දෙයි. එමෙන් ම This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් ලිපිනය ඔස්සේ ද ඒ පිළිබඳ ව තොරතුරු ලබාගැනීමේ හැකියාව ඇත. දේශීය පාරම්පරික වෛද්‍යවරුන් ට මෙම අවස්ථාව හා සහ සම්බන්ධවෙමින් තම අත්දැකීම් බෙදාහදා ගන්නා ලෙස ඉල්ලන මහචාර්ය රනිල් ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ කිසිම අවස්ථාවක මෙහිදී තම පාරම්පරික ඖෂධවලට අදාළව වට්ටෝරු ඉල්ලීමක් හෝ හුවමාරු කරගැනීමක් සිදුනොවන අතර ඔවුන්ට තම අවස්ථාව පුළුල් කරගැනීමේ මංපෙත් විවර කරගත හැකි අවස්ථාවක් මෙමගින් උදාවන බවයි. එමෙන් ම මේ හා සම්බන්ධවන විද්‍යා, ආයුර්වේද, කෘෂිකර්ම උපාධිධාරීන් ට විදේශ ශිෂ්‍යත්වය ලබාදීමට ද කටයුතු කෙරේ.
වසර 2000දී ශාක සාර ප්‍රමුඛ ඖෂධ වෛද්‍ය නිෂ්පාදන කර්මාන්තයේ වාර්ෂික අගය ඇමෙරිකා ඩොලර් බිලියන 60ක් ඉක්මවා ඇත. එමෙන් ම එය 2008 වසරේ දී බිලියන 200ක් ව ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය දත්තයන්ට අනුව ශාඛ ඖෂධ ව්‍යාපාරයේ වපසරිය වසරින් වසර සියයට 15 ක වේගයෙන් පුළුල් වෙමින් පවතී. ඒ හරහා 2050 වන විට එම වෙළෙඳ පොළ ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 5ක් තරම් පුළුල් වන බවට විශ්වාස කරයි. දේශීය ආර්ථිකයට සෘජුවට බලපෑම් කළ හැකි මෙවන් කර්මාන්ත ලෝකය වෙත ගෙන යන්නේ කුමන ආකාරයෙන් ද ඒ සඳහා වන අනුමැතීන් ගත යුත්තේ කෙසේද යන්න පිළිබඳ වත් මෙහිදී කර්මාන්ත කරුවන් සමග මෙන් ම විදේශ සම්පත් දායකයින් වෙත හුවමාරු කරගැනීමට හැකි වේ. දේශීය වෛද්‍ය විද්‍යාවට පමණක් නොව මෙහිදී කෘෂිකර්මාන්තයෙහි යෙදෙන්නන්ටද අවස්ථාවන් උදා වනු ඇත.
බොහෝ විට දේශීය වශයෙන් කර්මාන්ත ඇතිවන්නේ විදෙස් සමාගම් වෙතින් වන අතර ම එහිදී සිදුවන්නේ පිටරට සමාගමකට අයත් නිෂ්පාදනයන් මෙරට තුළ දී නිෂ්පාදනය කොට ලෝක වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීම වුවත් මේ හරහා රටේ වෙනසක් ඇති කිරීමට මහඟු අවස්ථාවක් සැලසෙන බව ද මහාචාර්ය රනිල් ද සිල්වා මහතා පෙන්වා දෙයි.
මෙම කටයුත්ත සාර්ථකවීම හරහා ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ද දේශීය වෛද්‍ය කර්මාන්තය හරහා විදේශ විනිමය උපයා ගැනීමට හැකිවනු ඇත. මෙම උත්සාහය අනාගත ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයා ගන්නා ක්‍රම සඳහා විකල්පයක් ම වනු ඇත.
- දිල්හාරි බණ්ඩාර -