2006 ජුනි මස 15 වදා කැබිතිගොල්ලෑව, යකාවැව ඇතුළු ගම්මාන කිහිපයක ජනතාව තම දරුවන්, දෙමාපියන්, ඥාතීන් අහිමි වීමේ අසීමිත දුක, කඳුළුවලට හරවා හඬා වැළපෙන්නට විය. කොටි ත්‍රස්තවාදීන් මෙම මිලේච්ඡ ප්‍රහාරය එල්ලකර පසුගිය ජුනි මස 15 වනදාට වසර 9ක් ගත විණි. එක්ව කටයුතු කිරීම, සාමුහික හැඟීම තදින්ම පවතින ඈත පිටිසර ගම්මානයක් වන යකාවැව ජනතාව අදටත් තම තමන්ගේ සමීපතමයන් නික්ම යාම පිළිබඳව කම්පනයෙන් කතා කරයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, දේශයේ ජීවය ලෙස සලකන්නට තරම් වන අභීත තීන්දුවක් ගනු ලැබුවේ, කැබිතිගොල්ලෑවේදී කොටි ත්‍රස්තවාදීන් සාමාන්‍ය ජනතාව ඉලක්ක කර එල්ල කළ මෙම බස් බෝම්බ ප්‍රහාරයත් සමගයි. ඒ අනුව තිස් වසරක යුධ සාපයෙන් මෙරට මුදවා ගන්නට හැකියාව උදාවිය. ඒ ආකාරයට ශ්‍රී ලංකාවෙන් රුදුරු ත්‍රස්තවාදය තුරන් කරන්නට, සිත් සවිමත් කළ යකා වැව ඇතුළු කණුහග වැව, හල්මිල්ලවැටිය ආදි ගම්මානවල ජනතාවගේ ජිවන තත්ත්වය නිතරම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය.
යුද්ධයෙන් අසීමිත ලෙස අපහසුතාවට ලක්වු මෙම ගම්මානයේ වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් යකා වැව ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය. සමාජ සේවා, වනිතා කටයුතු, සංස්කෘතික, ළමා ආරක්ෂණ, ක්‍රීඩා සෑම ක්‍ෂේත්‍රයක් ම නියෝජනය කරන ක්ෂේත්‍ර නිලධාරීහු මීට එක්ව සිටියහ. එහිදී මෙම ජනතාවගේ ජීවන තත්ත්වය ඔවුන්ට සියැසින්ම දැක ගත හැකිවිය.
එකට එක්රැස්ව එහි ජනතාවගේ ගැටලු හඳුනා ගැනීමටත්, ඒවාට විසඳුම් ප්‍රජා සහභාගිත්වය යටතේම සහභාගීත්ව සංවර්ධන ක්‍රමවේදයක් ඔස්සේ සිදු කිරීමට උපදෙස් ලබාදීමත් මෙම චාරිකාවේ විශේෂිත අරමුණක් වී තිබුණි. මෙම සාකච්ඡාවලදී අනාවරණ වුයේ රැස්වීම් පවත්වන තරමට ඔවුන්ට සහන සැලසී නොමැති බවයි. එහෙත් ඔවුන්ගේ කාරුණික බව සිඳී බිඳී ගොස් නැත. හැකි පමණින් ආගන්තුක සත්කාර කරමින් ගැමියාගේ යහගුණ ඔවුන් විසින් ඉහළින් ම ප්‍රදර්ශනය කරන ලදී.
මෙම ගම්මානයේ ස්ථිර රැකියාවක නිරත බහුතර පිරිසක් ත්‍රිවිධ හමුදාව හෝ පොලීසිය නියෝජනය කරයි. ඒ හැරුණු කොට ප්‍රධාන ජීවන මාර්ගය හැටියට ගොවිතැන පවත්වා ගනී. දැනට ඒ සඳහා ඔවුන්ට ජලය සපයා ගැනීමේ අපහසුවක් පැන නැගී තිබේ. විශාල ජල ධාරිතාවක් රඳවා ගත හැකි වැව් කිහිපයක්ම එහි පවතින අතර, ඒවා කඩිනමින් සකස්කර දෙන ලෙස ඔවුහු අප හමුවේ කාරුණික ඉල්ලීමක් කළහ.
මෙම ගම්වැසියන් සමඟ කළ සාකච්ඡාවල දී අපූරු අදහස් ගණනාවක් ඔවුන්ගේ මුවගින් ගලා එන්නට විය. ඇතැම් අදහස් හේතුවෙන් අපි මවිතයට පත්විමු.
“ අපිට වෙන වෙනම ගොවිතැන් කරන්නට ඕනෑ නෑ මහත්තයෝ . අපිට සමුහ ගොවිපොළක් දාලා දෙන්න. අපි මහන්සිවෙලා වැඩ කරන්නම්. එතකොට කාගෙන්වත් කරදරේකුත් නෑ. ”
හරි හැටියකට පාසලකට හෝ නොගිය ද මෙම තැනැත්තන් ඉදිරිපත් කරන අදහස් කොතරම් නම් බුද්ධිමත්ද? සාමුහිකව යමක් සිදුකිරීමෙන් එහි සාර්ථකත්වය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබෙනවා මෙන්ම ප්‍රතිඵල ද ඉහළ මට්ටමක පවතී. මෙබදු අදහස් ඇති නිසා ම මෙම ජනතාවගේ යැපීම් මානසිකත්වය ඉතා පහසුවෙන් ඉවත් කළ හැකි බව මට දැණිනි. කළ යුත්තේ ඔවුන් සමඟ එකට හිදිමින් නිලධාරීන් ලෙස, විශේෂඥ උපදෙස් සපයමින් අපි ඔවුන් සමඟ නිරන්තරව ම සිටින බව ඇඟවීමයි.
කුරිරු ත්‍රස්තවාදයෙන් පීඩාවට පත්ව සිටින්නට තමන්ට සිදුවුයේ කරන ලද පාපයන්ගේ විපාක යැයි ඔවුන් දැන් තදින්ම විශ්වාස කරයි. මී පැණි සොයා වන වැදුණු පිරිස් දැන් එය නවතා තිබේ. සතුන් දඩයම් කිරීම අතිශය පාපකාරී ක්‍රියාවක් බව හදවතින්ම වටහාගෙන ඇත. මෙම ජනතාව අධ්‍යාත්මය තුළ මනා ලෙස සතපවන්නට, ඒ හරහා කෘෂිකර්මාන්තය අතින් ඉහළ තැනක හිඳුවන්නට අවශ්‍ය මානව සම්පතේ සුබදායි පරිවර්තනය දැන් එහි සිදුව තිබෙනු නිසැකය. අවශ්‍ය වන්නේ තව තවත් ඔවුන් සමඟ හිඳ ඔවුනට අවශ්‍ය පොදු හා යටිතල පහසුකම් අවශ්‍ය මොහොතේ සපයා දීම පමණි. භික්ෂුන් වහන්සේ නමක් නොමැතිව වුවද පැරණි පුජනීය ස්ථානයක් පවිත්‍ර කරගෙන සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් අපගෙන් ඉල්ලා සිටි තවත් එක් විශේෂ අවශ්‍යතාවක් වුයේ, පන්සල් භූමිය විධිමත්කර දෙන ලෙසයි.
යුද්ධයෙන් ඍජුව පීඩා විඳි මෙම ජනතාවගෙන් එම බිය මුළුමනින් ම පහව ගොස් වසර කිහිපයක් ම ගතව තිබේ. දැන් ඔවුන්ට අවශ්‍යව ඇත්තේ යටිතල පහසුකම් සංවර්ධන ය යි. එයද වත්මන් රජය මගින් කඩිනමින් පියවරෙන් පියවර ඉටුකරමින් සිටී.
සත්තකින්ම එය භාවාතිශය ගමනක්. තමන්ට ඇති යම් යම් ලුහුඬුතා උපේක්ෂාවෙන් විඳ දරාගන්නා ඔවුන් අප ගිය ගමනේ දී ඔවුන්ට ලබාදුන් සුළු ත්‍යාග බෝග පවා භාරගත් අයුරු, ගැමියන්ගේ සෑබෑ අව්‍යාජත්වය විශද කළේය. කොතරම් දුෂ්කර වුවද එම ගමනේ දී මිනිසුන් ගේ සැබෑවට කා වැදීමට ලැබීම කොතරම් අගනේ ද? ඔවුන්ගෙන් ඉගෙන ගන්නේ නම් කොතරම් අගනා පාඩම්, සමාජ හිතකාමී බව ගැන ඔවුන් ළඟ තිබේ? අපිට නිතර සිහිපත් වන්නේ එයයි. අපි ඔවුන්ට භෞතිකව ලබාදුන්නාට වැඩි යමක් ක්ෂය නොවන අධ්‍යාත්මයෙන් අපට ලබාදුන් බව නිහතමානීව ආඩම්බර වෙමින් කිව යුතුමය.
විශේෂයෙන් ම අනුරාධපුර මහ දිසාපති මහින්ද සෙනවිරත්න මහතා ජනතා හිතකාමීත්වය ගැන, සෑබෑ මහජන සම්බන්ධතාව පිළිබඳව නිතර කතා කරනවා පමණක් නොව ක්‍රියාවට නැංවීමට ද අඛණ්ඩ අනුබල දෙන්නෙකු වීම පිළිබඳව ද කතා කළ යුතුමය. සමාජයේ සැබෑව සොයන්නට, ඒ හරහා ලුහුඬුතා මගහරවන්නට හැකි සෑම උත්සාහයක්ම දැරීම පහසු වන්නේ ජනතාව අතර සිට කටයුතු කිරීමෙන් බව ඔප්පු කිරීමට එතුමන් සමත්වී තිබේ. එය අනුරාධපුරයට ආශිර්වාදයක්ම ය.
යළිත් නොබෝ දිනකින්ම අපේම, අපේම සහෘදයින්, ඥාතීන් බව ඔප්පු කරගත් ඔවුන් දැක ගැනීමට, ඔවුන්ට සරණ වීමට පැමිණෙන බවට සත්‍ය, විශ්වසනීය පොරොන්දුවක් ලබාදෙමින් යකා වැව ගම්මානයෙන් නික්මුනේ, සේවා තෘප්තිය ඉහළින් ම ළඟා කර ගනිමිනි.
ෂෙල්ටන් බණ්ඩාර / එනූෂා බණ්ඩාර
ප්‍රවෘත්ති නිලධාරී