ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දු ලංකා ධීවර සාකච්ඡා කඩිනම් කිරීමට එකඟතාව

    මාර්තු 12, 2015
    ස්වදේශ කටයුතු සහ ධීවර අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතා පසුගියදා මෙරට ඉන්දීය මහකොමසාරිස් වයි.කේ. සිංහා මහතා හමු වූ අවස්ථාවේදී ඉන්දු ලංකා ධීවර සාකච්ඡා කඩිනම් කිරීමට එකඟතාව පළ කර ඇත . ජෝසප් මයිකල් පෙරේරා මහතා ධීවර අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු ඉන්දීය මහකොමසාරිස්වරයා සමඟ පැවැත්වූ පළමු නිල හමුව මෙය වන අතර මෙහිදී දෙරටේ ධීවර ගැටලු ඇතුලු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්විය.
     
    ඉන් වඩාත් අවධානය යොමු වූයේ දෙරටේම ධීවර යාත්‍රා අනවසරයෙන් අනෙකුත් පාර්ශවයේ මුහුදු සීමා උල්ලංඝණය කිරීම පිළිබඳවයි. ඉන්දීය ධීවරයන් මුහුදු සීමා උල්ලංඝණය කිරීම මෙන්ම නීති විරෝධී පන්න ක්‍රම උපයෝගී කර ගන්නා බවට ද තොරතුරු ලැබී ඇතැයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එය සාගර කලාපයේ මත්ස්‍ය සම්පතට ගැටලුවක් විය හැකි බව ද අමාත්‍යවරයා පැවසීය. මෙහිදී ඉන්දීය මහකොමසාරිස්වරයා පෙන්වා දුන්නේ දැනටමත් වට කිහිපයක් පවත්වා ඇති දෙරටේ ධීවර නියෝජිත සාකච්ඡා වඩාත් සක්‍රීය කිරීමෙන් ගැටලු නිරාකරණයට අවස්ථාවක් සැලසෙන බවයි. 
     
    දෙරටේ ධීවර නියෝජිතයන්ට අවසන් එකඟතාවක් සකස් කර ගැනීම සඳහා මූලික අවබෝධයක් එමඟින් නිර්මාණය වන බව ද මහකොමසාරිස් වයි.කේ. සිංහා මහතා පෙන්වා දුන්නේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙන්ම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ද ගැටලු නිරාකරණය සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රවේශයක් පෙන්නුම් කර තිබේ. එය සාධනීය ලෙසින් ගැටලුව විසඳා ගැනීමට වඩාත් පහසුවක් වනු ඇති බව ද මහකොමසාරිස්වරයා පැවසීය.
     
    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා  ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඊට පෙර දෙරටේ ධීවර නියෝජිත හමුවක් පවත්වා එහි දී ලබා ගන්නා තීරණ උපයෝගී කර ගනිමින් අදාළ සංචාරයේ දී ඉදිරි සාකච්ඡා පවත්වාගෙන යාමට අමාත්‍යවරයා මෙහිදී අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
     
    එසේම ධීවර අමාත්‍යවරයා මෙහිදී මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේ, උතුරේ මහ ඇමතිවරයා සමඟ ද ධීවර ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයට පැමිණීමට පෙර යාපනයේ දී උතුරේ මහ ඇමතිවරයා හමුවී සාකච්ඡා කිරීමට තමන් සැලසුම් කරන බව එහිදී මහකොමසාරිස්වරයා පැවසීය.
     
    දෙරටේ ධීවර කටයුතු සම්බන්ධයෙන් වඩාත් අවබෝධයෙන් කටයුතු කිරීමට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ක්‍රියා කිරීම මෙහිදී අමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය. ගැටලු විසඳා ගැනීමටත්, දෙරටේ ධීවර ක්ෂේත්‍රයන් හි ප්‍රගමනය වෙනුවෙන් ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමටත් මෙහිදී නියෝජියෝ වැඩිදුරටත් එකඟ වූහ.
     
    මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු සහ ධීවර අමාත්‍යංශයේ ලේකම් එස්.ඩී.ඒ.බී. බොරලැස්ස, ධීවර රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් හෙට්ටිආරච්චි, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් නිලධාරීහු රැසක් ද එක්වූහ. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya