ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    චක‍්‍ර ලේඛණ පෙන්වමින් සේවක වරප්‍රසාද වළක්වන්නේ නැහැ- ජනමාධ්‍ය ඇමැති Featured

    අප්‍රේල් 04, 2015

    සේවක අසමගිය හා අප‍්‍රසාදය වර්ධනය වන ලෙස විවිධ චක‍්‍ර ලේඛණ පෙන්වමින් ලැබිය යුතු සහන දීමනා නොදීමට කටයුතු නොකරන බවත් රාජ්‍ය ආයතන තුළ දූෂණ, වංචා හෝ පළිගැනීම්වලට යහපාලන රජයේ ඉඩක් නොමැති බවත් ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා අවධාරණය කරයි.

    බොරැල්ල පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවට පසුගියදා එක් වූ අමාත්‍යවරයා එහි දි හමු වූ සේවක පිරිස අමතමින් මේ බව පැවසිය.


    කඩිනමින් හැන්සාඩ් මුද්‍රණය සඳහා අභිනව ඩිජිටල් මුද්‍රණ යන්ත‍්‍රයේ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම ද අමාත්‍යරවයා අතින් සිදු විය. එමෙන්ම වෘත්තීය සමිති කාර්යාලය සහ සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහන ද මෙදින අමාත්‍යවරයා ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

    තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පරම්පරාවෙන් පරම්පරාවට දැනුම් සම්භාරය රැගෙන යන්නේ මුද්‍රණ ශිල්පියයි. එය සියවස් ගණනකට පෙර ආරම්භ වූවක්. එදා නොදියුණු යුගයේ ගල් ගුහාවල අත්ලේ ලේ තවරා ගල් බිත්තියේ හස්ත මුද්‍රාව සනිටුහන් කරමින් ආරම්භ වූ මුද්‍රණ ශිල්පය පරිගණකයෙන් විධානය දුන් සැනින් ඩිජිටල් තාක්ෂණයෙන් විවිධ වර්ණයෙන් මුද්‍රණය වීම දක්වා වර්ධනය වී තිබෙන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    ලංකාවේ මුද්‍රණ කර්මාන්තය ආරම්භ කළ ලන්දේසීන් ඔවුන්ගේ අණපනත් සහ ආගම් පත‍්‍රිකා මුද්‍රණයට යොදා ගත්තා. වඩාත් විධිමත් මුද්‍රණ ක‍්‍රමයක් ප‍්‍රචලිත කළේ ඉංග‍්‍රීසි පාලන යුගයේ දීය. එදා රැජිණගේ අච්චු කන්තෝරුව යටත් විජිත යුගයෙන් පසුව ආණ්ඩුවේ අච්චු කන්තෝරුව බවට පත් වුණා.

    උප්පැන්න සහතිකයේ සිට මරණ සහතිකය දක්වා ජනතාවට සමීප අත්‍යාවශ්‍ය ලියකියවිලි මෙන්ම විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණයට අවශ්‍ය නීති අණපනත් සහ ලේඛණ මුද්‍රණයේ භාරකරුවා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවයි.

    වසර 213 ක් පැරණි මෙම ආයතනයේ ප‍්‍රථම සිංහල මුද්‍රණාලයාධිපතිවරයා බර්නාඩ් සිල්වා මහතායි. එසේම මෙම ආයතනයේ කීර්තිමත් පාලකයෙකු ලෙස ප‍්‍රකට මුද්‍රණාලයාධිපති නෙවිල් නානායක්කාර මහතාගේ සේවය ද සිහිපත් කළ යුතුයි.


    ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ පාලන කාලයේ විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් යුගයේ මුද්දර මුද්‍රණය ආරම්භ කළා. එදා මැලේසියාවෙන් ශත 23 ට මුද්‍රණය කරගත් අපේ මුද්දරය ශත 11 කට මුද්‍රණය කරන්නට මේ ආයතනය සමත් වුණා. එම වාණිජ මුද්‍රණ කටයුත්ත අඛණ්ඩව සිදුකරගෙන යන බව අමාත්‍යවරයා සඳහන් කළේය.


    විවිධ පාලන යුගවල දී මෙහි අභාග්‍ය සම්පන්න කාල උදා වී තිබෙනවා. ඒ සියලු අක‍්‍රමිකතා යළි සිදු නොවීමට මමත් මාගේ අමාත්‍යාංශයත් නිසි පියවර ගත්තා. එකල පෞද්ගලික වෙළෙදුන් ලබා ගත් අබිලි ද්‍රව්‍ය හා ඉවතලන කඩදාසි විකිණීමේ ක‍්‍රමවේදය අවලංගු කොට වඩාත් විනිවිද පෙනෙන ආකාරයට විවෘත ටෙන්ඩර් ක‍්‍රමයක් උපයෝගී කර ගැනීමට උපදෙස් ලබා දුන්නා. මේ නිසා පසුගිය මසකට අඩු කාලය තුළ රුපියල් ලක්ෂ 35 කට වැඩි ලාභයක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා.


    ජනතාව යහපාලන රජයක් උදා කළේ සතුටින් හා සමාදානයෙන් ජීවත් වීමටයි. දූෂණය හෝ වංචා වැඩවලට මෙන්ම පළිගැනීම්වලට මෙම රජය තුළ කිසිදු ඉඩක් නැහැ. අනවශ්‍ය චක‍්‍ර ලේඛණ හෝ වෙනත් ලියකියවිලි පෙන්වමින් ජනතාවට ලැබිය යුතු සහන වළක්වමින් ඔවුන් පීඩාවට පත් කරන්නට එපා. සේවකයන්ට දෙන්නට පුළුවන් දේ ලබා දීම අපේ ප‍්‍රතිපත්තියයි. එසේම ජීවිතයේ වැඩි කාලයක් ගත කරන සේවා ස්ථානය තුළ සතුටින් සේවය කළ හැකි පසුබිම ගොඩනඟාගන්න යැයි අමාත්‍යවරයා පැවැසීය.


    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන, රජයේ මුද්‍රණාලයේ මුද්‍රණාලයාධිපති ඩබ්ලිව්. ඒ. ඒ. ජී. ෆොන්සේකා, රාජ්‍ය මුද්‍රණ සේවක සමිතියේ ප‍්‍රධාන ලේකම් නුවන් බුද්ධික, රාජ්‍ය සේවා ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් ලලිත් ඉන්දික, වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සරත් ලාල් යන මහත්වරු උත්සව සභාව ඇමතූහ.


    අතිරේක මුද්‍රණාලයාධිපති එල්. ආර්. කේ. අමරසිංහ, ඞී. එම්. කරුණාරත්න ඇතුළු උසස් නිළධාරීහු රැසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya