ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අස්ගිරි මහ නායක හිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව අප්‍රේල් 12 වන දින

    අප්‍රේල් 09, 2015

    අපවත් වී වදාළ ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට රජය තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩබ්.ටී.එන්. අමරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

     

    ඒ අනුව මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ රාජ්‍ය අවමංගල්‍ය පූජෝත්සවය (State Funeral) මෙම මස 12වන ඉරු දින ප.ව. 2.00ට අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේ දී හමුදා ආචාර වෙඩිමුර 17ක් සමඟ පැවැත්වේ.

     

    අපවත් වී වදාළ ස්වාමින් වහන්සේට ගෞරව පිණිස අප්‍රේල් 12 වන දින ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇත. සියලුම රජයේ හා පෞද්ගලික ගොඩනැඟිලිවල එදිනට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ඉල්ලා සිටින අතර වෙහෙර විහාර හා නිවාසවල කහ කොඩි ඔසවා තබන ලෙස ද ඉල්ලා සිටිනු ලැබේ.

     

    මහජන ගෞරවය සඳහා ශ්‍රී දේහය අස්ගිරි මහාවිහාරස්ථ මහා උපාලි අනුස්මරණ ශාලාවේ තැන්පත් කර ඇත. ආදාහන උත්සව අවස්ථාවේ ගුවනින් පුෂ්පෝහාර දැක්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විධිවිධාන යොදා ඇත.

     

    දළඳා මාළිගාවට අදාළ චාරිත්‍ර හා ගෞරව දැක්වීම සහිතව පැවැත්වෙන මෙම රාජ්‍ය අවමංගල්‍ය පූජෝත්සවයට විදේශ තානාපතිවරුන් අතුළු දූත මණ්ඩල ප්‍රධානීන්ට ද ආරාධනා කර ඇති අතර විදේශ රටවලින් ද බෞද්ධ භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ 40කට අධික විදේශ නියෝජිත පිරිස් සහභාගී වීමට නියමිතය.

     

    රටේ සෙසු ජනතාවට මෙම පූජෝත්සවය දැක ගත හැකි වීම පිණිස ජාතික රූපවාහිනිය ඔස්සේ මෙම ආදාහන පූජෝත්සව අවස්ථාව සජීවීව විකාශනය කරනු ලැබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya