ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    බුඩපේස්ට් සම්මුතියට ශ්‍රී ලංකාවත් Featured

    මැයි 28, 2015
    බුඩපේස්ට් සයිබර් අපරාධ පිළිබඳ සම්මුතියේ (Budapest Cybercrime Convention) සාමාජිකත්වය ලබන දකුණු ආසියාතික කලාපයේ ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත් වෙයි.
     
    ශ්‍රී ලංකාව මේ සඳහා වන සියලු නෛතික සුදුසුකම් මේ වන විට සපුරා ඇතැයි ද එම නීති කෙටුම්පත යුරෝපා කවුන්සලය වෙත ලබා දී බවද ඉදිරි මාස කිහිපය තුළ දී සාමාජිකත්වය ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවද ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA)අධ්‍යක්ෂ නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
     
    යුරෝපා කවුන්සලයේ මහලේකම්වරයා විසින් මෙහි සාමාජිකත්වය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවට අරාධනය කර මාස දෙක හමාරක් වැනි ඉතා කෙටි කාලයක් තුළ අදාළ නීති කෙටුම්පත් සම්පාදනය කර එහි යැවීමට හැකි වීම ශ්‍රී  ලංකාව පැත්තෙන් බලන විට විශාල ජයග්‍රහණයක් බවද ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
     
    ශ්‍රී ලංකාවට මෙම සාමාජිකත්වය ලබාදීම කෙරෙහි බලපෑ ප්‍රධාන සාධකය වන්නේ යුරෝපා ආර්ථීක කලාපයේ නීති සමග මෙරට 2007 අංක 24 දරන පරිගණක නීතිය සැසදීම බව ද ප්‍රනාන්දු මහතා පැවසීය.
     
    යුරෝපා කවුන්සලය මගින් ලෝකයේ රටවල් ගණනාවකට මෙම බුඩපේස්ට් සම්මුතියේ සාමාජිකත්වය ලබා ගන්නා ලෙස ඇරයුම් කර දිගු කාලයක් ගත වී ඇතත් එම රටවලට අදාළ සුදුසුකම් සපුරා ගැනීමට නොහැකි වීම නිසා සාමාජිකත්වය ලබා ගැනීමට තවමත් හැකි වී නැත.
     
    මෙවැනි පසුබිමක ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවට මෙහි සාමාජිකත්වය ලබා ගැනීමට හැකිවීම ශ්‍රී  ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ලැබු දැවැන්ත පිම්මක් ලෙසින් සැළකිය හැකි බව ද ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
     
    විදේශ කටයුතු අමාත්‍යංශය, අධිකරණ අමාත්‍යංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතනවල පූර්ණ සහාය මේ සඳහා ලැබී තිබෙන බවද නියෝජිතායතනය පවසයි.
     
    සයිබර් අපරාධ වැලැක්වීම සම්බන්ධයෙන් අන්තර්ජාතිකව ඇති එකම සම්මුතිය වෙන්නේ ද බුඩපේස්ට් සයිබර් අපරාධ පිළිබඳ සම්මුතිය වන අතර ඇමෙරිකාව, ජපානය, ඕස්ට්‍රේලියාව ආදී රටවල් ද මෙහි සාමාජිකත්වය දරති.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya