ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    උදයංග වීරතුංග සිය රාජ්‍ය තාන්ත්‍රික හැදුනුම්පත්‍රය නැවතත් රජයට භාර දී නැහැ

    ජූනි 03, 2015

    රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ උදයංග වීරතුංග මහතා සිය රාජ්‍ය තාන්ත්‍රික හැදුනුම්පත්‍රය නැවතත් රජයට භාර දී නැති බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකාව අද (03) විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති පුවත්පත් සාකච්ඡාවේ දී ප්‍රකාශ කළාය.

     

    රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ උදයංග වීරතුංග මහතා විසින් යුක්ක්‍රේන ජාතිකයින් 19 දෙනෙකුට අවි සැපයූ බවට තොරතුරු යුක්ක්‍රේන රජයට ලැබී ඇති බව 2014 නොවැම්බර් මාසයේ දී ඉන්දියාවේ නවදිල්ලි නුවර යුක්ක්‍රේන තානාපති කාර්යාලය හරහා යුක්ක්‍රේන රජය ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබෙන අතර යුක්ක්‍රේන රජයේ බලධාරීන් ඒ වනවිටත් ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබිණි.

     

    පසුගිය මැයි මස 05 වෙනිදා ඉරානයේ ටෙහෙරාන් නුවර තානාපති කාර්යාලයට ගොස් ඇති උදයංග මහතා නැව් මඟින් ශ්‍රී ලංකාවට එවා ඇති ඔහුගේ භාණ්ඩ වෙනත් පුද්ගලයෙකු ලවා ලබා ගැනීමට අවශ්‍ය බලය පැවරීම සඳහා වන ඇටෝර්නි බලපත්‍රයක් සහතික කර ගැනීමට සහය ඉල්ලා ඇති බව මහිෂිණී කොලොන්නේ මෙනවිය ප්‍රකාශ කළාය. එහිදී ඔහු විසින් විද්‍යුත් ලිපිනය තානාපති කාර්යාලය වෙත ලබා දී පිටව ගොස් ඇති අතර පසුව එම තානාපති කාර්යාලය විද්‍යුත් තැපෑල හරහා පවසා ඇත්තේ උදයංග මහතාගේ රාජ්‍ය තාන්ත්‍රික හැදුනුම්පත නැවත ශ්‍රී ලංකා රජය වෙත හෝ තානාපති කාර්යාලයක් වෙත භාර දෙන තුරු ඉල්ලා සිටින බලපත්‍රය සහතික නොකරන බවයි. උදයංග මහතාගේ භාණ්ඩ සහිත කන්ටේනර් පෙට්ටිය තවමත් කොළඹ වරායේ ඇති බවත් ඇය පවසා සිටියාය.

     

    ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් උදයංග මහතාගේ රාජ්‍ය තාන්ත්‍රික විද්‍යුත් හැදුනුම්පත අහෝසි කර ඇති අතර ඒ පිළිබඳව සෑම රාජ්‍යයකම තානාපති කාර්යාල වෙත දැනුම් දී තිබෙන බවත් ඇය තවදුරටත් සඳහන් කළාය.

     

    මෙම පරීක්ෂණය පිළිබඳව ශ්‍රී ලංකාවෙන් අවශ්‍ය සහයක් තිබේනම් ඒ සඳහා අප විසින් ගත යුතු පියවර සම්බන්ධව තීරණය කිරීමට යුක්ක්‍රේන රජයෙන් තොරතුරු ලැබෙන තුරු ශ්‍රී ලංකා රජය බලා සිටිනවා යැයිද ඇය අවධාරණය කළාය.

     

    2014 දෙසැම්බර් මාසයේ දී විදේශ කටයුතු අමාත්‍යංශ නිලධාරීන් දෙදෙනෙකු නවදිල්ලි නුවරට ගොස් ශ්‍රී ලංකාවේ අනේවාසික යුක්ක්‍රේන තානාපතිවරයා හමු වී මේ සම්බන්ධව ගත යුතු පියවර පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත.

     

    එසේම මේ වසරේ අප්‍රේල් 21 වෙනිදා ශ්‍රී ලංකාවේ අනේවාසික යුක්ක්‍රේන තානාපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණි අතර විදේශ ඇමති මංගල සමරවීර මහතා හමුවී සාකච්ඡා කළ බවත් එහිදී මෙම පරීක්ෂණයට සහය දීමට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් යුක්ක්‍රේනයට යාමට සූදානම් බව අමාත්‍යවරයා විසින් තානාපතිවරයාට දැනුම් දුන් බවත් තානාපතිවරයා ද එය ඉල්ලා සිටි බවත් ඇය පැවසුවාය.

     

    තවමත් යුක්ක්‍රේන රජයෙන් නිසි බලධාරීන් ඔවුන් පවත්වාගෙන යනු ලබන පරීක්ෂණය සම්බන්ධයෙන් තොරතුරු ශ්‍රී ලංකාවට ලබා දී නැති බවත් ඉහත කණ්ඩායම යුක්ක්‍රේනයේ කියෙව් නගරයට ගොස් යුක්ක්‍රේන රජයට සහය වීමට සූදානමින් සිටින අතර ඒ සඳහා දිනයක් ලැබෙන තුරු ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වෙන බවත් වැඩිදුරටත් ඇය විසින් සඳහන් කරනු ලැබීය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya