ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය

    නොවැම්බර් 19, 2015

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලතල පැවරීම හා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම පිණිස වන ව්‍යවස්ථා සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම පිණිස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී අද (19) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

     

    නිශ්චිත කාල සීමාවක් තුළ මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය සහ සිදු කළ යුතු ව්‍යවස්ථාමය වෙනස්කම් සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු අමාත්‍ය අනුකාරක සභාවක් පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කළ බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී අවධාරණය කළේය.

     

    බොහෝ දෙනෙකු විධායක ජනාධිපති බලය අහෝසි කරන බවට පොරොන්දු වී ජනවරම ලබා ගත් පසු එම පොරොන්දු අමතක කර කටයුතු කළ බවත් මෙම ජනාධිපතිවරයෙකු විසින් සිය විධායක බලතල අහෝසි කිරීම සඳහා යෝජනාවක් අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කළ ඉතිහාසයේ පළමු අවස්ථාව බවත් ඒ මහතා සඳහන් කළේය.

     

    2015 ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වුණු තමන් විසින් ඉදිරිපත් කරන ලද “මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක්“ යන ප්‍රතිපත්ති ප්‍රකාශනය හා අනුකූලව ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී විධායක ජනාධිපති ධුරයේ බලතල මුලින් අපේක්ෂා කළ පරිදි විශාල වශයෙන් අඩු කිරීමට නොහැකි වූයේ එබදු සංශෝධනයක් කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූ බැවින් යැයි අමාත්‍යවරයා මෙම අවස්ථාවේ දී ප්‍රකාශ කළේය.

     

    එමෙන්ම මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා පවත්වන ලද සාකච්ඡාවලදී පුළුල් එකඟතාවකට එළඹීමට නොහැකි වූ බැවින්, යෝජිත සංශෝධන සිදු කිරීමට අපොහොසත් වූ බවත් ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අනෙකුත් දේශපාලන කණ්ඩායම්වල සහ බහුජන සංවිධානවල නියෝජනයන් ද සැලකිල්ලට ගෙන මෙම ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බවත් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

     

    බොහෝ විට මීට අදාළ ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම ජුනි හෝ ජූලි වනවිට අවසන් වනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya