ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර් පතක්

    නොවැම්බර් 19, 2015

    පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට ශිෂ්‍යයන්ට සිය අභිමතය පරිදි ප්‍රමිතියෙන් උසස් හා අවශ්‍ය ප්‍රමාණයට වෙළඳ පොළෙන් නිල ඇඳුම් රෙදි මිලදී ගැනීම සඳහා මුදල් වවුචර් පතක් ලබා දීමට 2016 වසරේ සිට රජය විසින් පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී අද (19) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

     

    නිල ඇඳුම් රෙදිවල වෙළඳ පොළ වටිනාකම සොයාගෙන ඊට තවත් මුදලක් එකතු කර සිසුන්ගේ වයස මට්ටම් සැලකිල්ලට ගෙන රුපියල් 400/- සිට රුපියල් 1,700/- දක්වා වටිනාකමින් යුත් වවුචර් පත් මෙම තෙවන වාරය අවසාන වීමට පෙර (දෙසැ.05ට පෙර) දිවයිනේ සියලුම සිසුන්ට ලැබෙන්නට සලස්සවන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

     

    මේ අනුව මෙම වවුචර් පත රැගෙන ඕනෑම වෙළඳ සැලකට ගොස් නිල ඇඳුම් රෙදි මිලඳී ගැනීමට හැකියාව ඇති අතර වෙළඳ සැලෙන් ඒ සඳහා රිසිට් පතක් රැගෙන සිසුවා විසින් නැවත පන්ති භා ගුරුතුමිය වෙත භාර දිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය. එසේම වත්කමක් ඇති මවුපියන්ගේ දරුවන් වවුචර් ලබා ගැනීමට අකමැත්තක් දක්වන්නේ නම් එම මුදල ද දුෂ්කර පළාත්වල දරුවන්ට වසරට දෙවතාවක් නිල ඇඳුම් ලබාගත හැකි පරිදි ලබාදීම සම්බන්ධව අවධානය යොමුව කරන බවත් ඔහු කීවේය.

     

    වෙළඳ සැල් හිමියන්ට එම වවුචර් පත් ලංකා බැංකුවෙන් මුදල් කරගැනීමට හැකි බව පැවසූ ඒ මහතා මෙම වවුචරයෙන් වෙනත් කිසිඳු අයිතමයක් මිලදී ගැනීමට නොහැකි වන පරිදි එහි “නිල ඇඳුම් රෙදි හැර වෙනත් කිසිඳු අයිතමයක් මිලදී ගැනීමට නොහැක“ යනුවෙන් වගන්තියක් වවුචර් පතට එක් කර ඇති බවත් පැවසීය.

     

    පාසල් නිල ඇඳුම් රෙදි ශිෂ්‍යයන්ට ලබා දීමේ දී රජය මුහුණ දුන් ගැටළු වන පාසල් නිල ඇඳුම් රෙදි නියමිත දිනයට සිසු දරුවන් අතට පත් කිරීම සහ එම නිල ඇඳුම් රෙදි නියමිත ගුණාත්මකභාවයෙන් යුතුව සපයා ගැනීම මෙමඟින් විසඳෙන බවත් නිල ඇඳුම් රෙදි පාර්සල් කිරීම, ගබඩා කිරීම සහ ප්‍රවාහනය සඳහා ද සැලකිය යුතු පිරිවැයක් දැරීමට සිදුවන අතර එම මුදල ද මෙම වවුචර් පත් ලබා දීමේ ක්‍රමවේදයෙන් රජයට ඉතිරි වන බව ද අමාත්‍යවරයා පවසා සිටියේය.

     

    ඒ අනුව මෙරට පාසල් සිසුන් ලක්ෂ 42ක් පමණ සිටින බවත්, පසුගිය වසරේ ඔවුන්ට නිල ඇඳුම් ලබාදීම සඳහා රුපියල් බිලියන 2.3ක් වැය කර ඇති බවත්, මෙම නව වැඩපි‍ළිවෙළ යටතේ වවුචර් පත් ලබා දීම සඳහා රුපියල් බිලියන 2.1ක් පමණක් වැය වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවත්, අමාත්‍යවරයා කියා සිටියේය.

     

    ජනාධිපතිතුමාගේ නියමය පරිදි මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ දී කිසියම් ගැටලුවක් මතු වුවහොත් ඊට පිළියම් යෙදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ඒකකයක් ද පිහිටුවීමට කටයුතු කර ඇති බව ද කාරියවසම් මහතා අවධාරණය කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya