ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර දේශපාලන හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට සහාය -ස්විට්සර්ලන්ත ජනාධිපති

    ජනවාරි 25, 2016

    ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර දේශපාලන හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමටත්,ශ්‍රී ලංකාවේ ජන වර්ග අතර සංහිදියාව තහවුරු කිරීමටත් පූර්ණ සහාය ලබා දෙන බව ස්විට්සර්ලන්ත ජනාධිපති ස්නයිඩර් අමන් (Schneider - Ammann) මහතා පැවසීය.


    ස්විට්සර්ලන්තයේ ඩවොස් නුවර පිහිටි ඒ මහතාගේ පෞද්ගලික නිවසේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපති අමන් මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති සම්මුතිවාදී ආණ්ඩුව මේ වන විට රට යහපත් තත්ත්වයකට පත් කිරීම සඳහා කටයුතු කිරීම සතුටට කරුණක් බවයි.

     

    ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ආරක්‍ෂා කරමින් මානව හිමිකම් සහ ජනතා පරමාධිපත්‍යය ඉහළට ඔසවා තැබීම සඳහා සම්මුතිවාදී ආණ්ඩුවේ කටයුතු මේ අයුරින්ම ඉදිරියට ගෙන යනු දැක්ම තමන්ගේ අපේක්‍ෂාව බව ද ස්විට්සර්ලන්ත ජනාධිපතිවරයා පැවසීය.

     

    එහෙයින් මේ අවස්ථාවේ සියලූ දෙනාගේම වගකීම වන්නේ සම්මුතිවාදී ආණ්ඩුව ආරක්‍ෂා කර ගනිමින් රට සංවර්ධන මාවතට යොමු කිරීම බව ද අමන් මහතා පැවසීය.

     

    ස්විට්සර්ලන්තයේ බර්න් නගරයේ පිහිටා ඇති සර්ව ආගමික මධ්‍යස්ථානය පිළිබඳව දදෙපාර්ශ්වයේ නායකයින්ගේ අවධානය යොමු විණි. එම මධ්‍යස්ථානය කේන්ද්‍ර කොට ගෙනස්විට්සර්ලන්තයේ වෙසෙන සිංහල හා දෙමළ ජාතිකයන්ගෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා උපරිම දායකත්වයක් ලබා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දීඅදහස් හුවමාරු කර ගැනිණි.

     

    ශ්‍රී ලංකාවේ ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන ‘දයාලු මණ්ඩලයට’ සහභාගි වන ආගමික නායකයින් බර්න් නගරයේ සර්ව ආගමික මධ්‍යස්ථානයේ විශේෂ සමුළුවකට සහභාගි කරවා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විණි.

     

    දේශගුණික විපර්යාසවල අහිත කර බලපෑම් අවම කර ගැනීම උදෙසා තිරසර සංවර්ධන කවුන්සිලයක් පිහිටුවීමට ශ්‍රී ලංකා රජය අපේක්‍ෂා කරන බව වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ඊට අදාළ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අපේක්‍ෂා කරන අතර ඊට ස්විට්සර්ලන්තයේ සහාය ලබා දෙන ලෙස ද ශ්‍රී ලංකා නියෝජිතපිරිස ස්විට්සර්ලන්තයෙන් ඉල්ලීමක් කළහ.

     

    වර්තමානයේ යුරෝපය මුහුණ දෙමින් සිටින අභියෝග සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ හා සවිස්තර ලෙස සාකච්ඡා කෙරිණි. එම අභියෝගයන්ට ස්විට්සර්ලන්තය මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව ද අදහස් දක්වන මෙන් ජනාධිපති අමන් කළ ඉල්ලීම අනුව වික්‍රමසිංහ මහතා කරුණු පැහැදිලි කළේය.

     

    පුනර්ජීව බල ශක්ති නිෂ්පාදනය ඇතුලූ විවධ ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීම සඳහා ස්විට්සර්ලන්ත ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම පිළිබඳව ද එම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි. මේ සම්බන්ධයෙන් පුද්ගලිකවම මැදිහත් වී කටයුතු කරන බව ජනාධිපති අමන්වැඩිදුරටත් පැවසීය.

     

    මේ අවස්ථාවට මුදල් අමාත්‍ය රවී කරුණානායක, ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙද කටයුතු ඇමති මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක සහ ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ යන මහත්වරු ද සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya