ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජාතික නිදහස් උත්සවය අති උත්කර්ෂවත් ලෙස පවැත්වීමට සියලු කටයුතු සූදානම් -අමාත්‍ය ගයන්ත කරුණාතිලක

    ජනවාරි 27, 2016

    2016 වසරේ පැවැත්වීමට නියමිත 68වැනි ජාතික නිදහස් උත්සවය අති උත්කර්ෂවත් ලෙස පවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇතැයි ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසී ය.

    නිදහස් දින උත්සවය පිළිබඳව රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද (27) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පවැති අතර එහිදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ය.

     

    අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙවර නිදහස් උළෙල, කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවැත්වෙන බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සාකච්ඡාවට සහභාගීවෙමින් පැවසී ය.


    එකම දැයක් මහබලයක් තේමාව යටතේ නිදහස් උත්සවය පෙබරවාරි 04 දින පෙරවරු 8.00 ආරම්භ වෙනවා. අතිගරු ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමාගේ සැපත්වීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ වෙනවා.

     

    එදින රාත්‍රී 7.00ට නිදහස් හඳගැස්ම නමින් සංස්කෘතික උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවද අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසී ය.

     

    මේ අවස්ථාවට සියලු ජනතාවට විවෘත බවත් උත්සව අවස්ථාවට එක්වන ලෙසත් නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසා සිටියේ ය.


    ජාතික දිනයට සමගාමීව ආගමික වැඩසටහන් රැසක් පැවැත්වෙන බව කී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, පෙබරවාරි 02 දින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වෙන අතර පසුදින මහා සංඝරත්නය විෂයෙහි දානමය පිංකමක් පැවැත්වෙන බව පැවසීය.

     

    ඊට අමතරව අනෙකුත් හින්දු හා කතෝලික ආගමික වැඩසටහන් ද ක්‍රියාත්මක බව පැවසූ අමාත්‍යවරයා, නිදහස් දින
    උදැසන මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ද සිදුවන බව පැවසී ය.


    ජාතික දිනය නිමිත්තෙන් පෙබරවාරි 01 දින සිට සතියක කාලයක් තම නිවාසවල, රථවාහනවල, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ජාතික ධජය ඔසවා තබන ලෙස අමාත්‍යවරයා පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ය.

     

    ජාතික දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන අතර ජනමාධ්‍ය සම්බන්ධීකරණය හා ප්‍රචාරක කටයුතු සම්බන්ධීකරණය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.


    මෙම සාකච්ඡාව සඳහා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු, රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීහු රැසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya