ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    දැනුම් ක්ෂේත්‍රය,මානව සම්පත් කළමණාකරණය, ප්‍රාථමික කර්මාන්ත ලෙස සංවර්ධනය කර එහි ප්‍රතිලාභ ආර්ථීක සංවර්ධනයට

    ජනවාරි 29, 2016

    දැනුම් ක්ෂේත්‍රය හා මානව සම්පත් කළමණාකරණය යන විෂයයන්, ප්‍රාථමික කර්මාන්ත ලෙස සංවර්ධනයට පියවර ගන්නා බව, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

    ශ්‍රී ලංකා ඉන්කෝපරේටඩ් ඉංජිනේරු සංගමය විසින් 14 වන වරට සංවිධාන කරන ඉන්කෝ කර්මාන්ත හා වෙළඳ ප්‍රදර්ශනයේ සන්නාම මුහුරත් උළෙලට ඊයේ (28) සහභාගී වෙමින් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ, මේ සඳහා රුපියල් බිලියනයක පමණ ආයෝජනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.

     

    "රටක් සංවර්ධනය කිරීමේ දී පර්යේෂණ හා සංවර්ධන කටයුතු, නව දැනුම පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික අවබෝධය ලබා දීම සහ ජාත්‍යන්තර වශයෙන් පවත්නා දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම යන මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීම ඉතා වැදගත් වේ. මේ සඳහා දේශීය වශයෙන් ආයතන පිහිටවීම, සම්පත් ලබා දීම වැනි පහසුකම් සැපයීම මෙන්ම අන්තර්ජාතික දැනුම ක්ෂේත්‍රය තුළට මෙරට පර්යේෂකයින් යොමු කිරීම ද අවශ්‍ය වේ.

     

    එවැනි දේ සිදු කිරීමෙන් ලබා ගන්නා ප්‍රතිඵල, ඉන් පසුව මෙරට ඉදිරි සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් භාවිත කළ හැකිය. දැනුම හා මානව සම්පත් කළමණාකරණය, මෙරට ආර්ථීක සංවර්ධනය සමඟ ඍජු සබඳතාවක් නිර්මාණය කිරීමෙන් අත්කර ගත හැකි ප්‍රතිලාභයන් මෙරට ආර්ථීකයේ අභිවෘද්ධිය වෙනුවෙන් මහත් පිටිවහළක් වනු ඇත."

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා දැනට අභාවයට ගොස් ඇති මෙරට ස්වදේශීය වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.

     

    "අතීතයේ දී මෙරට භාවිත කළ හෙළ වෙදකම, පුද්ගලයින්ගේ ආයූ කාලය ඉහළ අගයක පවත්වාගෙන යාමට පවා හේතු විය. එදා දෛනිකව පානය කළ ඔසුපැන් ආදිය මඟින් ලැබුණු ජවය හා ශක්තිය මෙන්ම නීරෝගීකම, අද වන විට සම්පූර්ණයෙන්ම පාහේ පුද්ගල දින චර්යාවන්ගෙන් දුරස් වී තිබේ. අද වන විට වයස අවුරුදු පනහ ඉක්මවීම යනු වයෝවෘද්ධ වීමක් ලෙස සැලකීමට සිදුව තිඛෙන්නේ, අපේ පාරම්පරික වෙදකම අපෙන් අත් හැරීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

     

    ලෝක වෙළඳපොළ තුළ පාරම්පරික වෛද්‍ය ක්‍රම සඳහා ඩොලර් බිලියන 140ක පමණ වෙළඳපොළක් ස්ථාපිත වී තිබේ. ඉන් සියයට එකක හෝ අවකාශයක් වෙන් කර ගැනීමට හැකි වන්නේ නම්, එය ද මෙරට ජාතික ආර්ථීකයට විශාල ධනාත්මක බලපෑමක් සිදු කරනු ඇති.

     

    ඉදිරියේ දී ඉදිකිරීමට අපේක්ෂිත කෘෂිකර්ම අධිකලාප ආශ්‍රිතව මෙම වෙදකම ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට ද අපේක්ෂා කරයි."

     

    ඉන්කෝපරේටඩ් ඉංජිනේරු සංගමය විසින් සංවිධාන කර ඇති ඉන්කෝ ප්‍රදර්ශනය මෙරට ආර්ථීක සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන්නක් බව ද දයා ගමගේ මැතිතුමා මෙහිදී කියා සිටියේය. මෙරට ව්‍යවසාය සංවර්ධනය, අඩුමිල කාර්මික ප්‍රවේශය, සංචාරක හා තාක්ෂණික අංශයන්ගේ දියුණුව මෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍ය, වෙළඳ හා කෘෂිකර්මාන්තය වැනි සෑම අංශයකම සංවර්ධනය කෙරෙහි ඉංජිනේරු නිෂ්පාදන කේන්ද්‍රීය දායකත්වයක් ලබා දෙන බව ද අමාත්‍යවරයා සිහිපත් කළේය.

     

    ඉන්කෝ 2016 කර්මාන්ත හා වෙළඳ ප්‍රදර්ශනයේ නිළ වෙබ් අඩවිය දියත් කිරීම ද අමාත්‍ය දයා ගමගේ මැතිතුමා විසින් සිදු කළේය. ප්‍රදර්ශනයේ නිළ ටිකට් පත, මෙම උත්සවයේ සම්භාවනීය ආරාධිත අමුත්තා වූ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය විසින් ජනගත කළාය.

     

    මෙම අවස්ථාවට ඉන්කෝ 2016 කර්මාන්ත හා වෙළඳ ප්‍රදර්ශනයේ සංවිධායක කමිටු සභාපති කේ. ආරියවංශ, ඉන්කෝපරේටඩ් ඉංජිනේරු සංගමයේ සභාපති ජගත් අරව්වාවල යන මහත්වරුන් ඇතුළු එම සංගමයේ සාමාජිකයින්, වෙළඳ ප්‍රදර්ශකයින් හා කර්මාන්තකරුවන් පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya