ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    වාද භේද නැති සමඟිය සපුරුණු එකම රටක් ලෙස නැගී සිටිමු- ජනපති Featured

    අප්‍රේල් 13, 2016

    භේද නැති, වාද නැති සාමය සමගිය සපිරුණු එක් රටක්,එක් දැයක් ලෙස නැගීසිටීමට මෙන්ම මතින් තොර රටක් බිහිකර ගැනීමට ද මේ අලුත් අවුරුද්දේ අප අධිෂ්ඨානය විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයන්ගේ සහ දෙමළ හින්දුන්ගේ ප්‍රධානතම ජාතික සංස්කෘතික උළෙල වන අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    මෙම වසන්ත මංගල්‍යය සියලු ජන කොටස් එක්කරන්නාවූ ද ජාතික සමගිය වර්ධනය කරන්නාවූද ප්‍රබල අවස්ථාවක් බවත්,අවුරුද්දේ හරය හා සමුදයාර්ථය නිවැරදිව වටහා ගනිමින් ද සිය සංස්කෘතික උරුමයන් සුරකිමින් ද අවුරුදු සතුට විඳීම අප හැමගේම වගකීම විය යුතු බව ජනපති අවධාරණය කරයි .

    එසේම අවුරුදු ප්‍රීතිය භුක්ති විඳීමේදී මේ වන විටත් රජය විසින් මුල පුරන ලද මතින් තොර රටක් ගොඩනැගීමේ සද්ක්‍රීයාදාමයට සක්‍රියව දායකවීමට මෙම අවුරුද්ද යොදා ගන්නා ලෙසට ද සියලු ශ්‍රී ලංකාවාසීන්ගෙන් සිය පණිවිඩය මගින් ජනාධිපතිතුමා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අලුත් අවුරුද්ද වෙනුවෙන් නිකුත් කළ සම්පූර්ණ පණිවිඩය :-

    “ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයන්ගේ සහ දෙමළ හින්දුන්ගේ ප්‍රධානතම ජාතික සංස්කෘතික උළෙල වන්නේ අලුත් අවුරුද්දයි. සිංහල බෞද්ධයා ස්වකීය සංස්කෘතික අනන්‍යතාවට මුල් තැන දෙමින් අවුරුද්ද සමරන අතර, දෙමළ හින්දු හු ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාව අනුව අවුරුද්ද සමරති.

        අවුරුදු චාරිත්‍රවල ප්‍රබල හා අගනා අවස්ථාවක් වන්නේ සියලු දෙනාම එකම නැකතකට ආහාර පිසීම හා ආහාර අනුභව කිරීමය. අලුත් අවුරුද්ද පරිත්‍යාගය, අගය කිරීම, වැඩිහිටියන්ට ගෞරව කිරීම, තෑගි බෝග පිරිනැමීම ආදී සද්චාරිත්‍රය සමූහයක එකතුවකි. අවුරුද්දේ එකී හරය හා සමුදයාර්ථය නිවැරදිව වටහා ගනිමින් ද සිය සංස්කෘතික උරුමයන් සුරකිමින් ද අවුරුදු සතුට විඳීම අප හැමගේම වගකීම විය යුතුය.

        හිරු මීන රාශියෙන් මේෂ රාශියට එළඹීම සංකේතවත් කෙරෙන අසිරිමත් වසන්ත සැණකෙළිය ලෙස ද හැඳින්විය හැකි අවුරුද්ද සොබාදහමේ සුන්දරත්වය සමග අපගේ බැඳිම් ද අලුත් කරවන අපූර්ව අවස්ථාවක් වේ. එව කව බොව, කියන මිහිරි තෙපුලෙන් නිවෙස් පිරී යන ඒ වසන්ත මංගල්‍යය සියලු ජන කොටස් එක්කරන්නාවූ ද ජාතික සමගිය වර්ධනය කරන්නාවූද ප්‍රබල අවස්ථාවක් ලෙස මම දකිමි.

        එසේම අවුරුදු ප්‍රීතිය භුක්ති විඳීමේදී මේ වන විටත් රජය විසින් මුල පුරන ලද මතින් තොර රටක් ගොඩනැගීමේ සද්ක්‍රියාදාමයට සක්‍රියව දායකවීමට මෙම අවුරුද්ද යොදා ගන්නා ලෙසට ද සියලු ශ්‍රී ලංකාවාසීන්ගෙන් මම ඉල්ලා සිටිමි.

        බතක් නොඉදෙන පැලක කිරිබතක් ඉදෙන, සිනහවක් නොපිපෙනා මුවග සිනහවක් සුපිපෙන,වෛරයෙන්, ද්වේෂයෙන් අනෙකා දෙස බලන දෑසෙහි,මෙත්, කරුණා සිසිලස ගලා යන උනුන්පරයා නැගීමට වෙර දරන සිත්වල,සුහද සොඳුරු සම ගුණ රඳනා සුබ අලුත් අවුරුද්දක් සියලු දෙනාටම උදාවේවා යනු මගේ හෘදයාංගම ප්‍රාර්ථනාවයි. භේද නැති, වාද නැති සාමය සමගිය සපිරුණු එක් රටක්,එක් දැයක් ලෙස නැගීසිටීමට මෙන්ම මතින් තොර රටක් බිහිකර ගැනීමට දමේ අලූත් අවුරුද්දේ අපි අධිෂ්ඨාන කර ගනිමු.

        ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !"

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya