ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    වැසි සමයත් සමඟ වසංගත රෝග පැතිරයාමේ අවදානමක්

    මැයි 17, 2016

    වැසි සමයත් සමඟ වසංගත රෝග පැතිරයාමේ අවධානමක් ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (17) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී පැවැත්විණි. එම අවස්ථාවේදී මේ බව දැනුම්දෙනු ලැබිණි.

    එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා "පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාව කඳවුරු 84 ක් තුළ රැදී සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයට වාර්තා වී තිබෙනවා. කිලිනොචිචිය, මන්නාරම, මහනුවර, මාතලේ, පුත්තලම, කුරුණෑගල, ගම්පහ, කෑගල්ල සහ කොළඹ යන දිස්ත‍්‍රික්කවල එම කඳවුරු ස්ථාපිත කර තිබෙනවා. ආපදා කළමනාකරණය සඳහා සම්බන්ධීකරණ නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ද පත් කරනු ලැබ තිබෙනවා. දිස්ත‍්‍රික්ක මට්ටමින් ආපදා සම්බන්ධීකරණ වෛද්‍ය ඒකක ද පිහිටුවා තිබෙනවා. සෞඛ්‍ය පහසුකම් නංවාලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ද ක‍්‍රියාත්මකයි.

    කුඩා දරුවන්, මව්වරුන් මෙන්ම ගැබිණි මාතාවන් ද අත්‍යාවශ්‍ය වුවහොත් රෝහල්ගත කිරීමට ද අවශ්‍ය කටයුතු මේ වනවිටත් යොදා තිබෙනවා. කඳවුරුවල වෙසෙන ජනතාවට අවශ්‍ය පානීය ජල පහසුකම් ලබාදීමේ දී ක්ලෝනීකරණය ඉතා වැදගත්. ඒ සඳහා වෛද්‍ය සැපයුම් අංශය ක්ලෝරීන් පෙති ලබාදී තිබෙනවා. ජංගම සෞඛ්‍ය සේවාවන් ද ක‍්‍රියාත්මකයි. අවතැන් වූවන් සහ දිවයින පුරා ජනතාව උණුකර නිවාගත් ජලය පමණක් භාවිත කරන මෙන් ඉල්ලා සිටිනවා. අමු ආහාර පිරිසිදු කර අනුභව කරන ලෙසත්, නිවසේ පිළියෙළ කළ ආහාර පමණක් භාවිත කරන ලෙසත් මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. තව ද වැසි සහිත කාලගුණයත් සමඟ කුඩා දරුවන් අපිරිසිදු ජලය එකතු වී ඇති ස්ථානවල රදවා තැබීමෙන් වැලැක්වීම දෙමාපියන් සතු යුතුකමක්. ඊට හේතුව අපිරිසිදු ජලයෙන් චර්ම රෝග බෝවීමේ අවධානමක් පැවැතීමයි. පෙණහලු රෝග ද පැතිර යාමේ අවධානමක් පවතී. වැසි සහිත කාලගුණය හේතුවෙන් විවිධ ස්ථානවල රැදී ඇති කසල ඉවත් කිරීම ද ඉතාම වැදගත්. මදුරුවන් බෝවීම වැලැක්වීම සඳහා කසළ කළමනාකරණය කිරීම ජනතාවගේ මෙන්ම පළාත් පාලන ආයතනවල ද වගකීමක්. ඩෙංගු රෝගය පැතිර යාමෙ අවදානමක් ද මතු විය හැකියි. අපිරිසිදු ආහාර භාවිතයට ගැනීම හා ජලය පානය කිරීමෙන් පාචනය, උණ සන්නිපාතය, මී උණ සහ අක්ෂි රෝග වැනි වසංගත රෝග පැතිර හැකියි. එමෙන්ම වැසි සහිත කාලගුණයත් සමඟ රෝහල් යටවීමේ අවදානමක් ද මතුව තිබෙනවා. කුරුණෑගල මහ රෝහල ජලයෙන් යටවීමේ අවදානමක් මතු වූ අතර, එය වැලැක්වීම සඳහා ත‍්‍රිවිධ හමුදාවේ සහය ලැබුණු නිසා එම ගැටලුව නිරාකරණය වුණා. රෝහල් යටවීමෙ අවදානමක් මතු වුවහොත් රෝගීන් වෙනත් රෝහල්වලට රැගෙනයාමේ වැඩපිළිවෙළක් ද ක‍්‍රියාත්මකයි.” යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya