ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අගමැති තුන්වන දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවේ ආරම්භක සැසිය අමතයි Featured

    ජූලි 18, 2016

    සිංගප්පූරුව හා ඉන්දියාව අතර ඇති සීපා ගිවිසුම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එට්කා ගිවිසුම, ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුම නිසා ලබන වසර වෙද්දී දකුණු ආසියාවේ දක්‍ෂිණ උප කලාපයට සහ සිංගප්පූරුවට ත්‍රෛපාක්‍ෂික වැඩ සැලැස්මකට ගොනු වීමට හැකි වන අතර, එමගින් සියළු පාර්ශවයන්ට ජය හිමිවන වාසිදායක පරිසරයක් නිර්මාණය වන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ අද (18) පෙරවරුවේ සිංගප්පූරුවේ රැෆල්ස් නාගරික සම්මන්ත්‍රණ කේන්ද්‍රයේදී මුළු දුන් තුන්වන දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවේ ආරම්භක සැසිවාරයේ මුඛ්‍ය දේශනය පවත්වමිනි.

     

    සාම්භාව්‍ය අමුත්තන් දහසක් පමණ පිරිසකගේ සහ කලාපයේ ප්‍රමුඛ ප්‍රතිපත්ති සම්පාදකයන්, විද්වතුන්, සිවිල් සමාජ නායකයන් 75 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ආරම්භ වුණු තුන්වන දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවේ ආරම්භක සැසිවාරය ඉතා අභිමානවත් හා ගෞරවනීය මට්ටමින් පැවැත්වුණු අතර, සිංගප්පූරු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධර්මන් ෂන්මුගරත්නම්, වෙළඳ සහ කර්මාන්ත අමාත්‍ය එස් ඊස්වරන්, සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනයේ සභාපති ගෝපිනාත් පිල්ලේ, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීයයන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වී සිටියහ.

     


    2015 දී, ශ්‍රී ලංකාවේ ජනතාව ජාතික රජයක් වෙනුවෙන් දෙවරක්ම සිය ඡන්දය පාවිච්චි කිරීම මගින් රටේ සෞභාග්‍යය, ස්ථාවරත්වය සහතික කිරීමත්, දිගුකාලීන දැක්මක් නොමැති, අදූරදර්ශී දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්ති අත්හැරීමත් සිදු වූ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා ඒ ඔස්සේ ස්ථාවර ආර්ථික ප්‍රතිපත්ති ඇති කරගැනීම සඳහා අඩිතාලම වන දේශපාලන ස්ථාවරභාවය ශ්‍රී ලංකාව විසින් ළඟා කරගෙන ඇති බව ද අවධාරණය කළේය.

     

    ශ්‍රී ලංකාව වෙත ලැබී ඇති මේ අද්විතීය අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජනය ගෙන තිරසර ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් සඳහා යොමු වීමේ කාලය පැමිණ ඇති බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුනි.

     

    අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේ දුර්වල යටිතල පහසුකම්, ව්‍යාපාරික පරිසරය සහ ප්‍රතිපත්ති විදේශයන් සමග කරන වෙළෙඳාමට බාධා කරන සහ තරගකාරී හැකියාව පසුගන්වන සාධක ලෙස හඳුනාගෙන තිබෙන බැවින්, මුහුදු, ගුවන්, මහාමාර්ග, බලශක්ති සහ සන්නිවේදන ක්ෂේත්‍රයන්හි පහසුකම් වර්ධනය කිරීම සඳහා වන භෞතික යටිතල පහසුකම් සංවර්ධන වැඩපිළිවෙළක් දියත් කිරීම ඔස්සේ ශ්‍රී ලංකාව මෙම කලාපයේ භාණ්ඩ හුවමාරු, ව්‍යාපාරික හා මූල්‍ය මධ්‍යස්ථානය බවට පත් කිරීමට කටයුතු සම්පාදනය කරමින් පවතින බවය.

     

    රජය විසින් ආරම්භ කර ඇති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව සඳහන් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ   මහනුවර - කොළඹ– හම්බන්තොට ආර්ථික මං පෙත සැකසීම දැන් සිදුවෙමින් පවතින බවය. මෙමගින් දේශීය නාගරික බිමි සැකැස්ම වෙනස් වෙන අතර, ගුවන් තොටුපල දෙකකින් සහ වරාය දෙකකින් මේ ආර්ථික මං පෙත සන්නද්ධ වන බවද ඔහු පෙන්වා දුන්නේය. මෙම සැලැස්මට මහනුවර මහා සංවර්ධන ව්‍යාපෘතිය, වයඹකාර්මික හා සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය, බස්නාහිර මහනගර ව්‍යාපෘතිය, දකුණු සංචාරක සහ කර්මාන්ත ව්‍යාපෘතිය ඇතුළත් වන අතර, වසර 15 ක් තුළ මේ ව්‍යාපෘති අවසන් කරන බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

     

    දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුව සංවිධානය කළ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ දකුණු ආසියානු කටයුතු පිළිබඳ අධ්‍යයන ආයතනයේ සභාපති ගෝපිනාත් පිල්ලේ මහතා පැමිණ සිටි අමුත්තන් පිළිගනිමින් ප්‍රකාශ කළේ මෙම සමුළුව පිළිබඳ ජනතා අවධානය දිනෙන් දින ඉහළ නැංවෙන බවය. මෙවර මුල් වතාවට සිංගප්පූරුවෙන් පිටත සම්භාවනීය පුද්ගලයෙකුට මුඛ්‍ය දේශනය සඳහා ආරාධනා කිරීමට සංවිධායක කමිටුව තීරණය කළ අවස්ථාවේ ඒ සඳහා සුදුසුම පුද්ගලයා ලෙස ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා තෝරා ගැනීම සිදු කළ බවද ඔහු පැවසීය.


    සිංගප්පූරුවෙන් බිහිවූ ප්‍රථම ඉංජිනේරුවරයා වූ ආචාර්ය විජේරත්නම් මහතා ගේ ජීවන තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් ෙදාරට වැඩීම ද මේ අවස්ථවේම සිදු කෙරුණු අතර, එහි සංස්කාරිකා නදීශා ඊබ්‍රහිම් මහත්මිය ද අදහස් දැක්වූවා ය.

     

    සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව නව ආර්ථික පිළිවෙතක් යටතේ යෝධ ඉදිරි පිම්මක් ගැනීමට සූදානම් වන බවය. දකුණු ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව කීර්තිමත් තලයකට ඔසවා තබමින්, දේශයේ ජනතාවගේ රැකියා සහ ආදායම් මාර්ග ඉහළ නැංවීමේ අවකාශ මෙමගින් උදාවන බවද සමරවික්‍රම මහතා පෙන්වා දුන්නේය.


    අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, බස්නාහිර නාගරික සංවර්ධන සහ මෙගා පොලිස් අමාත්‍යංශ ලේකම් නිහාල් රූපසිංහ, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති නිමල් වීරරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, අග්‍රාමාත්‍ය විශේෂ සහායක කේ.පී. දයාරත්න සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන්ද මේ අවස්ථාවට එක්වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya