ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    රෝහල්වල ජීව වෛද්‍ය උපකරණවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට වැඩපිළිවෙළක් Featured

    අගෝස්තු 10, 2016
    රජයේ රෝහල්වල තිබෙන මිල අධික ජීව වෛද්‍ය උපකරණ, නිසි ලෙස ප‍්‍රයෝජනයට ගැනීම සඳහා ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතු යැයි  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ 2016 - 2025 දස අවුරුදු සෞඛ්‍ය සැලැස්ම පිළිබඳ ව පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවක දී ය. එහිදි දස අවුරුදු සැලැස්ම ක‍්‍රියාත්මක කිරීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත නව අදහස් හා උපදෙස් ලබාදීමට කටයුතු කෙරුණි.
     
    රජයේ රෝහල්වලට ඉතා විශාල මුදලක් වැයකරමින් ජීව වෛද්‍ය උපකරණ ලබාදී ශල්‍යාගාර සහ අනෙකුත් ඒකක ස්ථාපිත කර ඇති නමුත්, රාජකාරි වේලාවෙන් පසුව මෙම අධි මිල උපකරණ මෙන්ම විශේෂිත ඒකකවල ක‍්‍රියාකාරිත්වය අවම තත්ත්වයකට පත්වන බවත් රාජකාරි වේලාවෙන් පසුව ද එම උපකරණවලින් ප‍්‍රයෝජන ගැනීමේ වැඩපිළිවෙළක් රාජ්‍ය හා පුද්ගලික ඒකාබද්ධ සේවාවක් ලෙස සකස් කළ යුතු බවට ද එහිදී අමාත්‍යවරයා විසින් නිලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලදී. 
     
    ඒ අනුව ඉදිරි දස වසර තුළ සෞඛ්‍ය සේවාවන්ගේ සීමා මායිම් පුළුල් විය යුතු අතර දිවයිනේ සෑම ප‍්‍රදේශයකම වෙසෙන ඕනෑම පුද්ගලයෙකුට නවීන වෛද්‍ය පහසුකම් ලබාදීමට හැකි ක‍්‍රමවේදයන් මෙම දස අවුරුදු සැලසුමට ඇතුළත් වන අකාරයෙන් සකස් කෙරේ. 
     
    සෞඛ්‍ය සේවාවන් සඳහා ලබාදෙන මුල්‍ය ප‍්‍රතිපාදන දැනටමත් ඉහළ නංවා ඇති බැවින් ඉදිරියේ දී මීටත් වඩා ප‍්‍රතිපාදන සෞඛ්‍ය සේවාව සඳහා ලබාදීමට නියමිත බැවින් ද ජනතාවට නොමිලයේ ලබාදෙන සෞඛ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂමව හා රජයෙන් ලබාදෙන මුල්‍ය ප‍්‍රතිපාදනයෙහි උපරිම ප‍්‍රතිලාභය මහජනතාවට ලැබෙන පරිදි ක‍්‍රමවේදයන් සකස් කළ යුතු බවට ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදෙන ලදි.‍
     
    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහත්වරු ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya