ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    සූර්යබල විදුලි උත්පාදනයන් ප්‍රවර්ධනය කිරීමට නීතිමය රාමුවක්

    දෙසැම්බර් 01, 2016
    සූර්යබලය මත පදනම්ව විදුලිය නිෂ්පාදනය සඳහා කැමැත්තක් දක්වන අය සඳහා පවතින නීතිමය බාධාවන් ඉවත් කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත. ඒ අනුව, එලෙස විදුලිය නිෂ්පාදනය කර ජාතික පද්ධතියට අළෙවි කරනු ලබන විදුලි පාරිභෝගිකයන් හට කොමිෂන් සභාවෙන් බලපත්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමට යෝජනා කර ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරයි.
     
    ශ්‍රී ලංකා විදුලිබල පනත හා සංශෝධිත එකී පනත අනුව කොමිෂන් සභාවෙන් බලපත්‍රයක් ලබා ගැනීමෙන් තොරව විදුලිබලය උත්පාදනයට සහ ලංකා විදුලිබල මණ්ඩලය වෙත අළෙවි කිරීමට අවකාශ නොමැත. නමුත්, මෙම නව තීරණය අනුව ඕනෑම විදුලි පාරිභෝගිකයෙකුට බලපත්‍රයක් ලබා ගැනීමෙන් තොරව තම පරිශ්‍රයෙහි සූර්යබලය මත පදනම්ව විදුලිය ජනනය කර අළෙවි කිරීමට හැකියාව පවතී. ඒ අනුව, ඒ සඳහා යොමු වන සියළු පාර්ශවයන් බලපත්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කරනු ලැබේ.
     
    ශ්‍රී ලංකා රජය මෙන්ම පෞද්ගලික අංශයෙහි ආයෝජකයින්ද පුනර්ජනනීය බලශක්ති ප්‍රභව තුලින් විදුලිය උත්පාදනය සඳහා ප්‍රමුඛ වශයෙන් අවධානය යොමු කර ඇති අවස්ථාවක මෙම තීරණය එලි දක්වන ලදී. රජය විසින් පාරිභෝගිකයන් හට ඔවුන්ට අවශ්‍ය විදුලිය ඔවුන් විසින්ම නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා වර්තමානයේ “සූර්යබල සංග්‍රාමය” නමින් සූර්යබලය මත පදනම් වන විදුලි උත්පාදන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. 
     
    මෙම වැඩසටහන යටතේ ඕනෑම ගෘහයක හෝ පරිශ්‍රයක අයිතිකරු හට වලංගු විදුලි ගිණුමක් පවතී නම් උත්පාදනය කරන ලද විදුලිය ජාතික ජාලයට ශුද්ධ මනුකරණය (Net metering) ශුද්ධ ගිණුම්කරණය (Net accounting) සහ ශුද්ධ ඉතුරුම් (Net plus) යන අදියර යටතේ අළෙවි කළ හැක.  
     
    ජනකොට්ඨාස මත පදනම් කුඩා පරිමාණ පූර්යබල විදුලි උත්පාදනය සඳහා බලපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම තවදුරටත් සූර්යබල පද්ධති ජන සමාජය තුළ ප්‍රචලිත වීමට හේතුවනු ඇත.
     
    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, දමිත කුමාරසිංහ මහතා පවසන ලද්දේ “ගෘහස්ථ මට්ටමින් සූර්යබලය මගින් විදුලිය උත්පාදනය කිරීම බලපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම තුළින් එවැනි උත්පාදනයන් සඳහා පවතින බාධාවන් අවම කිරීමටත්, ඒ සඳහා උනන්දු කරවීමටත් සූදානම් කරනු ලබන බවයි. තවද මෙම තත්ත්වය ලංකාවේ විදුලි පාරිභෝගිකයන් හට දැරිය හැකි මිලකට පරිසර හිතකාමි පුනර්ජනනීය විදුලි මූලාශ්‍ර සඳහා ඉඩප්‍රස්ථා ලබාදෙන බවයි”.
     
    සූර්යබලය මත පදනම් වූ විදුලිබලය උත්පාදනය පාරිභෝගිකයන් අතර ප්‍රචලිත කිරීම තුළින් දිවා කාලයෙහි පවතින විදුලි ඉල්ලුම ඉන්ධන බලාගාර හරහා විදුලිය උත්පාදනය කර සපුරා ගැනීම වෙනුවට ගෘහස්ථ සූර්ය බලාගාර මගින් සපුරා ගැනීමට බලාපොරොත්තු වේ. මෙය ජල සම්පත වඩාත් කාර්යක්ෂම මෙන්ම වඩාත් යෝග්‍යම ආකාරයෙන් කළමනාකරණයටද ඉඩ ලබා දේ.  
     
    වර්තමානයේ ස්ථාපිත විදුලි ධාරිතාව මෙ.වො. 3,900ක් වන අතර එය වසර 2020 වන විට  මෙ.වෙ. 4955ක් වනු ඇති බවට බලාපොරොත්තු වේ.
     
    ලංකා විදුලිබල මණ්ඩලයේ පුරෝකථනයන්ට අනුව 2015 – 2034 කාල පරිච්ඡේදය කුළ ශ්‍රී ලංකාවේ විදුලිබල ඉල්ලුම සාමාන්‍යයක් ලෙස 5.3% කින් වර්ධනය වන අතර කාර්යබහුල කාල සීමාවෙහි විදුලි ඉල්ලුමෙහි වර්ධනය සාමාන්‍යයක් ලෙස 4.7% ක් වේ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya