ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක් Featured

    දෙසැම්බර් 24, 2016

    පුරාවිද්‍යා වටිනාකම්වලින් යුත් ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කර ගත් විශේෂ වැඩපිළිවෙළක් ලබන ජනවාරි 01 වනදා සිට අරඹන බව ජනාධිපතිතුමා පවසයි.

    ජාතියේ අභිමානවත් ඉතිහාසය සහ ශිෂ්ටාචාරය පිළිබඳ පවතින ඓතිහාසික සාක්ෂිය වන්නේ පුරාවස්තු සහ කෞතුක වස්තු බව පැවසු ජනාධිපතිතුමා පුරාවස්තු සහ කෞතුක වස්තු විනාශවීම රටක ඉතිහාසය සහ සංස්කෘතිය විනාශ වීමක් බව ද කියා සිටියේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකය මගින් හයවන අදියර යටතේ ඉදිකළ නිවාස 219 ක හිමිකම් ප‍්‍රදානය වෙනුවෙන් (23) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමනි.

    නිවාස ප‍්‍රදානයට අමතරව සිවිල් ආරක්ෂක දෙපර්තමේන්තුවේ සේවයේ නියුතු දෙමාපියන්ගේ දරුවන් 31,845 දෙනෙකු සඳහා මිලියන 11 ක වටිනාකමකින් යුත් අභ්‍යාස පොත් ප‍්‍රදානය, අපොස සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් දරුවන් 123 ක් සඳහා රුපියල් 15,000 ක වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව ප‍්‍රදානය, අ.පො.ස. උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් දරුවන් 54 දෙනෙකු සඳහා රුපියල් 40,000 ක වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව ප‍්‍රදානය, අ.පො.ස උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් සරසවි වරම් ලැබූ දරුවන් 74 දෙනෙකු සඳහා ලැප්ටොප් පරිගණක ප‍්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කෙරිණි.

    යුද, නාවික, ගුවන් ති‍්‍රවිධ හමුදාව සේම සිවිල් ආරක්ෂක බළකාය ද පසුගිය යුද සමයේ ජීවිත පරිත්‍යාගයෙන් රට වෙනුවෙන් කළ කැපවීම මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා අද දවසේ රටේ සංවර්ධනය වෙනුවෙන් ඔවුන් ඉටුකරන සුවිශේෂී මෙහෙවර ද ඇගයීමට ලක් කළේය.

    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අයගේ සුබසාධනය වෙනුවෙන් රජය නිරන්තරයෙන් කටයුතු කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

    ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරචි මහතා සහ ති‍්‍රවිධ හමුදාපතිවරුන් ද, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා යන මහත්ම මහත්මීන් ද, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි ලක්ෂ්මි පල්ලේගම මහත්මිය ඇතුළු එහි සාමාජිකාවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    pmdnews

     

    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකය විසින් ඉදිකළ නිවාස වල හිමිකම් ප‍්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා කළ කතාව (2016-12-23 BMICH හි දී )

    මේ අවස්ථාවට එක්වීමට ලැබීම සතුටට කරුණක්. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකය සිය වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටුකරමින් තිබෙන බව පෙනී යනවා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන පිරිස් වෙනුවෙන්, දරුවන්, දෙමව්පියන් වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකය පුළුල් වැඩකටයුතු රාශියක් ඉටු කරනවා.

    නිවාස ඉදිකර දෙමින්, පාසැල් දරුවන්ට අභ්‍යාස පොත්, ශිෂ්‍යත්ව ලබා දෙමින් කරන සේවාව මහත් ආදර්ශයක් සපයනවා. ඒ නිසා එහි සේවය කරන සෑම කෙනෙකුටම මගේ ස්තූතිය පුදකරනවා.

    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉතිහාසය, එහි දායකත්වය සහ වත්මනේ කරන්නාවූ කාර්යයන් ඔබ දන්නවා. විශේෂයෙන් එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී යුද්ධයත් සමග ග‍්‍රාමීය ප‍්‍රදේශ වල ආරක්ෂාව සඳහා කළ කැපකිරීමත් සටන් බිමේ සිටින ත‍්‍රිවිධ හමුදා රණවිරුවන්ට අවශ්‍ය සහය ලබා දීමත් මුල් අවස්ථාව තුළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් සිදුවුණා. නමුත් පසුකාලීනව යුද, නාවික, ගුවන් ත‍්‍රිවිධ හමුදාව කරන්නාවූ කාර්යයන්ට සමාන කාර්යයක් කිරීමට අපේ රටේ පොලීසියට සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට සිදුවුණා.

    ඔබ දන්නවා පොලිස් දෙපාර්තමේන්තුව රටේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට කැපවෙනවා. නමුත් හමුදාවක් කටයුතු කරන ආකාරයට පොලිස් දෙපාර්තමේන්තුවට කටයුතු කරන්න සිදුවුණා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් ත‍්‍රිවිධ හමුදා රණවිරුවන් සමග සිය වගකීම සහ යුතුකම ඉටු කරමින් මාතෘ භූමිය වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා. ජීවිත පරිත්‍යාග කළා, ආබාධිත වුණා. ආර්ථික වශයෙන් පවුල් විනාශ වුණා. නොයෙක් ආකාරයේ බරපතළ පෞද්ගලික ව්‍යසනයන්ට, ඛේදවාචකයන්ට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්ට මුහුණ දීමට සිදුවුණා.

    යුද, නාවික, ගුවන්, පොලිස් වැනි සේවාවන්ට සමාන සේවාවක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එදා මෙදා තුර කාලය තුළ ඉටුකර තිබෙනවා. ඒ නිසා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු ත‍්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජීවිත පරිත්‍යාග කළ සියලු රණවිරුවන්ට ජාතියේ ගෞරවය හිමිවෙනවා.

    අද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විවිධ ක්ෂේත‍්‍රවල සංවර්ධන කාර්යයන්වල නියැළෙනවා. සමාජ සුබසාධනය ප‍්‍රමුඛ සංවර්ධන කටයුතු සඳහා පුළුල් කැපවීමකින් කටයුතු කරනවා. මීට පෙර ඉදිරිපත් කිරීමේදී ඉතා පැහැදිලිව පෙන්නුම් කළා සිවිල් ආරක්ෂක සේවාවෙන් කරන කාර්යයන් පිළිබඳව. වකුගඩු රෝගීන් වෙනුවෙන් ද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ වැඩසටහන් රාශියක් ඉටුකරනු ලැබුවා.

    පසුගියදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී ජනවාරි පළමු වැනිදා සිට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ යෙදී සිටින පිරිසෙන් වැඩි පිරිසක් පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට යෙදවීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ප‍්‍රධාන වගකීමක් පැවරුවා. පුරාවස්තු සංරක්ෂණය කිරීම රජයක ප‍්‍රධාන වගකීමක් වෙනවා. පුරාවස්තු විනාශ කිරීම හා සම්පත් සොරා ගැනීම සිදුවී තිබෙනවා. ඒ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් ලබන මාසේ සිට විශේෂ වැඩසටහන් ක‍්‍රියාත්මක කරනවා.

    ජාතියක ඉතිහාසය, සංස්කෘතිය, සභ්‍යත්වය පිළිබඳව හොඳම සාක්ෂීන් වන්නේ ඒ රට සතු පුරාවිද්‍යාත්මක සාක්ෂියි. රටක පුරාවස්තු සහ කෞතුක වස්තු විනාශ වීම රටේ ඉතිහාසය විනාශ වීමක්. ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය විනාශ වීමක් ලෙසයි සැලකෙන්නේ.

    ඒ නිසා රජයට සේම ජීවත්වන සියලු පුරවැසියන්ගේ වගකීමක් තියෙනවා පුරා වස්තු ආරක්ෂා කිරීමට. ඒ නිසා පුරාවස්තු ආරක්ෂා කිරීමේ කටයුතු ඉදිරියේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වගකීමෙන් ඉටුකරනු ඇතැයි අප විශ්වාස කරනවා.

    එදා යුද්ධයට කළ කැපකිරීම් සේම අද සංවර්ධනයට කරන කැපකිරීම් අපි අගය කරනවා. යහපත් තෘප්තිමත් මනසකින් රාජකාරී ඉටුකිරීමටත් ඔවුුන්ගේ දරුවන්ට අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් ලබා දීමටත් මෙහි සේවා වනිතා ඒකකය දක්වන කැපවීම මා ඉතාමත් අගය කරනවා.

    මේ දෙපාර්තමේන්තුවේ සංස්කෘතික අංශය ද සංස්කෘතික අංශයෙන් රටේ ඉදිරියෙන්ම සිටිනවා. මේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව මා නැවතත් සතුටු වෙමින් ඔබ සැමට වාසනාවන්ත අනාගතයක් ප‍්‍රාර්ථනා කරමින් ඔබෙන් සමුගන්නවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya