ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    වර්ජනයෙන් ජනජීවිතයට බලපෑමක් නැහැ Featured

    මැයි 05, 2017

    ඇතැම් කණ්ඩායම් විසින් අද (05) දින ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කර තිබූ  වැඩ වර්ජනය නිසා රටේ සමස්ත ජනජීවිතයට බලපෑමක් සිදු නොවූ බවත් මෙම වර්ජනයට සහභාගි වන බවට ප්‍රකාශ කළ කණ්ඩායම්වල ඇතැම් ක්‍රියාකාරීන් පමණක් අදාළ සේවාවලින් බැහැරව සිටියද  එම ආයතනවල සමස්ත සේවා සැපයුම යථා පරිදි සිදු වූ බවත් වාර්තා වේ.

    විශේෂයෙන්ම දිවයිනේ සමස්ත පාසැල් පද්ධතියේම අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක විය. විදුහල්පතිවරුන්, ගුරුවරුන් මෙන්ම සිසු දරුවන් සුපුරුදු පරිදි පාසල් කරා පැමිණ සිටි අතර අධ්‍යයන කටයුතුද කිසිදු බාධාවකින් තොරව සිදුකරන ලදී.

    ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් සිය රාජකාරි සඳහා සාමාන්‍ය පරිදි වාර්තාකර තිබුණු අතර ලංගම බස් ගමනාගමන සේවාවන් යථා පරිදි සිදුකෙරිණි.

    එමෙන්ම, පෞද්ගලික බස් ධාවනය කිරීමද සුපුරුදු පරිදි සිදුවිය. ලංකා විදුලිබල මණ්ඩලයේ රාජකාරි කටයුතුවලටද මෙම වර්ජනයෙන් කිසිදු බලපෑමක් නොවූ බව රටපුරා විදුලි සැපයුම නිසි පරිදි සිදුකිරීමෙන් තහවුරු වේ.

    එමෙන්ම, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවා සැපයුමද නිසි පරිදි සිදු කරන ලදී. ඒ අනුව,  ලංකාව පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවිය.

    ඇතැම් රජයේ රෝහල්වල වෛද්‍යවරුන් මහජනතාව වෙත සිය සේවය ලබාදීමෙන් වැළකී සිටීම නිසා රෝගීන් අපහසුතාවන්ට පත්ව සිටියද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අත්‍යවශ්‍ය කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගනුලැබීය. කෙසේවුවද ලංකාවේ සියලු පෞද්ගලික රෝහල් වල වෛද්‍ය සේවාවන් සැපයීම නොඅඩුව හා  ඉතා කාර්යක්ෂම ලෙස සිදුවිය.

    දුම්රිය සේවයේ ඇතැම් කණ්ඩායම් වගකීම් විරහිත අයුරින් සිය රාජකාරි සඳහා වාර්තා කිරීම පැහැර හැරියද දුම්රිය ධාවන කටයුතු යථාපරිදි සිදුකිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දැඩි කැපවීමකින් කටයුතු කරන ලදී. මෙහිදී එම දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි බී.ඒ.පී.ආරියරත්න මහතා ප්‍රකාශ කළේ අගනුවර රාජකාරි සඳහා පැමිණි ජනතාවට බාධාවකින් තොරව නිවෙස් කරා ගමන් කිරීම සඳහා තදාසන්න ප්‍රදේශවල හා කාර්යාලයීය දුම්රිය යථාපරිදි ධාවනය කිරීම සඳහා සිය උපරිම අවධානය යොමු කර ඇති බවයි. එමෙන්ම,  නගරාන්තර දුම්රිය හා දුරබැහැර දුම්රිය සේවා පවත්වා ගැනීමටද කටයුතු කරන බව ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

    රටේ අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර රැසක් අඩපණ කරමින් කඩාකප්පල්කාරී ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණු මෙම වැඩ වර්ජනය සාමාන්‍ය ජනජීවිතයට හා රාජ්‍ය සේවාවට කිසිදු ප්‍රමාණාත්මක බලපෑමක් සිදු කිරීමට අසමත් වූ බව මෙම සියලු අංශයන්හි ක්‍රියාකාරීත්වය නිරික්ෂණය කිරීම  තුළින් තහවුරු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya