ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ආසියා ශාන්තිකර වනාන්තර කොමිසමේ 27 වන සැසිවාරය ඇරඹේ Featured

    ඔක්තෝබර් 24, 2017
    ආසියා ශාන්තිකර වනාන්තර කොමිසමේ 27 වන සැසිවාරය ඊයේ (23) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ වූ අතර මෙම සමුළුව 27දා දක්වා පැවැත්වේ.
     
    "Forestry in a New Landscape" යන තේමාව ඔස්සේ සැසිය පැවැත්වෙන අතර මෙහි සමාරම්භක උත්සවය අද (24) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
     
    වනාන්තර කළමනාකරණය සඳහා මාර්ගෝපදේශ සකස් කිරීම, කලාපීය වනාන්තර සහ භූ දර්ශනය ප්‍රතිස්ථාපනය කිරීමේ ක්‍රමෝපායන් අනුමත කර ගැනීම, නාගරික භූ දර්ශනය තුළ ශාකවල පැවැත්ම, ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව සඳහා වන්නාතරවල දායකත්වය, ප්‍රජා වන කළමනාකරණනව ප්‍රවේශය, 2020 වසරේ දී වන සම්පත් තක්සේරුව වැනි මාතෘකා යටතේ සාකච්ඡාව පැවැත්වේ.
     
    මීට අමතරව විවිධ ජාත්‍යන්තර සහ දේශීය ආයතන මඟින් ප්‍රදර්ශන කුටි 16ක් ද පෝස්ටර් ප්‍රදර්ශනයක් ද සහභාගී ව නියෝජිතයන් හට ශ්‍රී ලංකාවේ වනාන්තර සහ අලි සංරක්ෂණය පිළිබඳ අත්දැකීම් ලබා දීමේ අරමුණෙන් ක්ෂේත්‍ර චාරිකා දෙකක් ද සංවිධානය කර ඇත.
     
    ආසියා ශාන්තිකර වනාන්තර පිළිබඳ කොමිසමෙහි වර්තමාන සාමාජික සංඛ්‍යාව රටවල් 33 කි. එනම් ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, භූතානය, කාම්බෝජය, චීනය, උතුරු - කොරියාව, ෆීජී ප්‍රංශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපනාය, කිරිබාටි,දකුණු - කොරියාව, ලාඕසය, මැලේසියාව, මාලදිවයින, මොන්ගෝලියාව, මියන්මාරය, නේපාලය, නවසීලන්තය, පකිස්ථානය, පැපුවා නිව්ගිනියාව, පිලිපීනය, රුසියාව, සැමොවා, සලමන් දූපත්, ශ්‍රී ලංකාව, තායිලන්තය, තිමෝරය, ටොන්ගා, ටුවාලු, ඇමරිකා එක්සත් ජනපදය, වනාටු, වියට්නාමය සහ එක්සත් රාජධානිය (නිරීක්ෂණ මට්ටමේ) වේ.
    මේ සඳහා සාමාජික රටවල නියෝජිතයන් හා විවිධ මට්ටමේ නිරීක්ෂණ ආයතනයන්හි නියෝජිතයන් 300ක් පමණ සහභාගී වීමට නියමිතය.
     
    මෙම සැසිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම හේතුවෙන් වන සංරක්ෂණය පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර වෘත්තිකයන් හා විද්වතුන් අතර අන්‍යෝන්‍ය අදහස් හා අත්දැකීම් හුවමාරුවකට මහඟු අවස්ථාවක් සැලසේ.
     
     ඒ තුළින් ශ්‍රී ලංකාවේ වන සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ජාත්‍යන්තර සංවිධානවලින් ලැබෙන සහය තවදුරටත් වර්ධනය කර ගැනීමට අවස්ථාවක් ද උදාවනු ඇත. එමෙන්ම මේ  සඳහා සත්කාරක රාජ්‍යය ලෙස ක්‍රියාකිරීම මඟින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එය වනාන්තර ක්ෂේත්‍රයේ ගෝලීය සම්බන්ධතා වර්ධනයටද හේතු වනු ඇත. මෙම සමුළුව සඳහා සහභාගීවන ජාත්‍යන්තර නියෝජිතයින් ශ්‍රී ලංකාවේ රැඳීමෙන් ශ්‍රී ලංකාවට සැළකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමේ අවස්ථාවක්ද ලැබෙන අතර ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ද මෙම සමුළුව ඉවහල් වනු ඇත.
     
    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ස්ථාපනය කර ඇති, කලාපීය වනාන්තර පිළිබඳ කොමිෂන් හය අතුරින් ආසියා ශාන්තිකර වනාන්තර පිළිබඳ කොමිසම එකකි. මෙම කොමිසම, අධික විවිධත්වයකින් යුක්ත වූ හා වේගයෙන් වෙනස්වීම්වලට භාජනය වෙමින් පවතින ආසියා ශාන්තිකර කලාපයේ වනාන්තර පිළිබඳ ගැටළු හඳුනාගැනීමට සහ ඒවා විසඳීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙය ස්ථාපනය කර ඇත. එය වසර දෙකකට වරක් රැස්වන අතර එහිදී පසුගිය ක්‍රියාකාරකම්වල ප්‍රගතිය සමාලෝචනය, ඒ සම්බන්ධ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සහ ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සම්බන්ධව අවධානය යොමු කරයි. වනාන්තර කළමනාකරණය ඉහළ මට්ටමකින් ඉටු කිරීම සහ ඒ සඳහා නවීන තාක්ෂණය භාවිත කිරීම, ප්‍රතිපත්ති, ආර්ථීක සහ ආයතනික සංවර්ධනය සහ වනාන්තර කළමනාකාරණයට ජනතාව සම්බන්ධ කර ගැනීම යන ප්‍රධාන සංරචක මෙම කොමිසමේ විෂය පථයට අයත් වේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya