ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළ ජනපති ප‍්‍රධානත්වයෙන් පොළොන්නරුවෙන් ඇරඹේ Featured

    මාර්තු 02, 2018

    මෙරට වාරි කර්මාන්තයේ අතීත දියුණුව යළි රට තුළ ඇති කරමින් කෘෂි කර්මාන්තයෙන් රට අස්වද්දා ස්වයංපෝෂිත ජාතියක් ලෙස නැඟී සිටීමේ වැඩපිළිවෙළ යටතේ වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනේ සමාරම්භය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ සනිටුහන් කෙරිණි.

    දීර්ඝ කාලයක් පුරා ප‍්‍රතිසංස්කරණයට ලක් නොවූ උතුර, නැගෙනහිර, වයඹ සහ උතුරු මැද පළාතේ පැරණි වැව් 2400 ක් මේ අනුව ප‍්‍රතිසංස්කරණය කෙරෙන අතර ඒ යටතේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ වැව් 123 ක් සංවර්ධනය කෙරේ.

    එහි පළමු වැව ලෙස මින්නේරිය, හිඟුරක්ගොඩ ප‍්‍රදේශයේ චන්දන පොකුණ වැවේ ප‍්‍රතිසංස්කරණ කටයුතු අද (02) පෙරවරුවේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ විය.

    මෙම වැව පුරාණ රජ දවසේ සිට පැවතෙන අතර වගා බිම් අක්කර දහස් ගණනකට ජලය සපයයි. අක්කර අඩි 800 ක ජල ධාරිතාවයකින් යුක්ත වැවෙන් ප‍්‍රදේශයේ ගොවි පවුල් 300 ක් පමණ ප‍්‍රතිලාභ ලබති.

    “පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ශී‍්‍ර ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් මෙහි ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරේ.

    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන්ම කෘෂිකර්මාන්තයට සහ ආහාර නිෂ්පාදන කි‍්‍රයාවලියට නව ජවයක් ලබාදී ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවයි.

    පසුගිය රජයන් යටතේ ද මෙවන් වැඩසටහන් කි‍්‍රයාත්මක වුවත් විධිමත් සැලසුම් ඔස්සේ ඒවා කි‍්‍රයාත්මක නොවීම හේතුවෙන් එම ව්‍යාපෘති අසාර්ථක වූ බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා රටේ ගොවි ජනතාවට හොඳ ජීවන තත්ත්වයක් උදාකර දීම වෙනුවෙන් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට දායකවීම සියලුදෙනාගේ වගකීමක් බවද කියා සිටියේය.

    චන්දන පොකුණ වැවෙහි ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 16 ක මුදලක් ඇස්තමේන්තුගත කර තිබුණ ද, ශ‍්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් රුපියල් මිලියන 2.5 ක පමණ මුදලක වියදමින් මෙම ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට සැලසුම් කිරීම විශේෂත්වයකි.

    ප‍්‍රදේශයේ මහජන නියෝජිතයින් රැසක් මෙන්ම පොළාන්නරුව දිස්ති‍්‍රක් ලේකම් රංජිත් ආරියරත්න, “පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුදන්ත රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර “පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ දිඹුලාගල මැදගම මහා විද්‍යාලයේ ඉදිකෙරුණු දෙමහල් පංති කාමර ගොඩනැඟිල්ල අද පෙරවරුවේ සිසු අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත් අතර සමරු ඵලකය නිරාවරණය කර දෙමහල් පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

    අනතුරුව සංගීත අංශයේ සිසු දරුවන් විසින් ඉදිරිපත් කළ ගීතයක් රසවිඳීමට ද එක්විය.

    ජනාධිපතිතුමාගේ සම්ප‍්‍රාප්තිය සනිටුහන් කරමින් විද්‍යාල පරිශ‍්‍රයේ පැළයක් ද රෝපණය කෙරිණි.

    ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර පුෂ්පකුමාර රණසිංහ, පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් රන්ජිත් ආරියරත්න, මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකර තුෂාර දන්තනාරායන, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. එම්. වී. එම් සංජීවනි, උතුරු මැද සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ. ටී. කේ. පි‍්‍රයංකර යන මහත්ම මහත්මීන් සහ විදුහල්පතිනි සී. ආර්. පත්මිනි ස්වරණලතා මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    අනතුරුව මනම්පිටිය දෙමළ මහා විද්‍යාලයේ ඉදිකළ තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම සඳහා ජනාධිපතිතුමා එක්විය.

    “පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සියලු පහසුකම්වලින් සමන්විතව මෙම නව පංති කාමර ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

    විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් ද මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.

    සමරු ඵලකය නිරාවරණය කර පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබීය.

    අනතුරුව විද්‍යාලයේ නැටුම් අංශයේ දරුවන් විසින් ඉදිරිපත් කළ නර්තනාංගයක් නැරඹීමට ද ජනාධිපතිතුමා එක්විය.

    විදුහල්පති කේ. විජේන්ද්‍රන් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    PMD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya