“වැව් දහසක් ගම් දහසක්” වැඩපිළිවෙළ යටතේ ග්‍රාමීය වැව් පද්ධතිය හා ඒ ආශ්‍රිතව තිබෙන ගම්මානවල කෘෂිකාර්මික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සිදු කරනු ලබයි. මෙම වැඩපිළිවෙළ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලුම ආයතනවල සහයෝගය ලබා ගන්නා අතර එම ආයතන විසින් එක් එක් ව්‍යාපෘතින් ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා හදබිම අධිකාරිය, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, පසු අස්වනු තාක්ෂණ ආයතනය, ලංකා පොස්පේට් සමාගම, කොමර්ෂල් පොහොර සමාගම, ලංකා පොහොර සමාගම ආදිය සියලුම ආයතන විසින් මෙම වැඩපිළිවෙළට අදාල නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
“වැව් දහසක් - ගම්දහසක්” වැඩසටහන මේ වනවිට ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන අතර මෙම වසර අවසන් වනවිට වැව් 350ක් ප්‍රතිසංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා රජය වැය කරන මුදල රුපියල් මිලියන 3500කි.
මෙම වැඩපිළිවෙළේ 300වන ව්‍යාපෘතිය වශයෙන් අගුනකොළපැළැස්ස කයිලවැල්පෝටෑව (වික්‍රමපුර) වැව හා ගම්මානය ප්‍රතිසංවර්ධනය කිරීම ඊයේ (12) ආරම්භ විය. ඒ සඳහා රජය වැය කරන මුදල රු. මි. 10කි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය යටතේ එම ප්‍රදේශයේ ජනතාව සඳහා සෞඛ්‍ය සායන, කොස්පැළ බෙදා දීම, කාබනික පොහොර බෙදා දීම, මීමැසි පෙට්ටි බෙදා දීම ආදි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා-
අපේ රටේ පැවැති ආණ්ඩු බොහොමයක් ග්‍රාමීය වැව් පද්ධතිය නගා සිටුවීම සඳහා පියවර ගත්තේ නැහැ. ඒ නිසා වැව් පද්ධතිය දවසින් දවස අභාවයට ගියා. දැන් අපේ රටේ හුඟාක් වැව්වල තියෙන්නේ වතුරට වඩා වෙනත් පැළෑටිවර්ග. වැස්සක් දෙකක් වැටුණාම වාන් දමන වැව් සතියක් දෙකක් පෑව්වාම හිඳිලා යනවා. ඒ නිසා ගොවීන්ට යලට මහට අවශ්‍ය වතුර ටික ලබා ගන්න බෑ. කුඹුරු පුරන්වෙනවා.
අපේ ගොවි ජනතාව අපෙන් වෙන කිසිවක් ඉල්ලන්නේ නැහැ. ඔවුන් කියන්නේ අපේ වැව් ටික හදලා දෙන්න. ඉතිරි හරිය අපි බලාගන්නම් කියලයි. අපි රටේ සංවර්ධනය සඳහා කටයුතු කරන කොට අද අපේ රටේ ඇතැම් අයට තියෙන්නේ ආණ්ඩුබලය ලබා ගැනීමේ ඕනෑකමයි. මෙච්චර කල් අගමැතිකම ඉල්ල ඉල්ලා හිටපු ඒකාබද්ධ විපක්ෂේ අය දැන් විපක්ෂ නායකකමට පොරකනවා. විලිලැජ්ජාව කියලා දෙයක් තියෙනවා නම් එහෙම කරනවාද. ඉස්සර කිව්ව් මාස දෙකකින් ආණ්ඩුව ඉවරයි. වෙසක් පෝය දෙකකින් ආණ්ඩුව ඉවරයි කියලා. නමුත් දැන් පෝය ගණනාවක් ගිහින් තියෙනවා. නමුත් ආණ්ඩුවට වෙච්ච දෙයක් නැහැ.
පසුගිය දිනවල දුම්රිය වැඩවර්ජනයක් තිබ්බා. අපේ දූ දරුවන් උස් පෙළ විභාගයට පෙනී සිටින අවස්ථාවක කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ගත් එම ක්‍රියාමාර්ගය නිසා අපේ අහිංසක රජයේ සේවකයින් ලක්ෂ ගණනක් පීඩාවට පත්වුණා. මහජන විරෝධය පළමුවන වතාවට වැඩවර්ජකයින්ට එල්ල වූ අවස්ථාවක් වුනා. මේ මිලේච්ඡ වැඩ වර්ජනය පිටුපස්සේ ඇතැම් දේශපාලකයින් හිටි බව අපි දන්නවා. මේක නිකම්ම ඇතිවෙච්ච වැඩවර්ජනයක් නොවෙයි. මේක පිටුපස්සේ දේශපාලනය තිබෙනවා.
නමුත් ගරු ජනාධිපතිතුමා මැදිහත්ව මෙම වර්ජනය විසඳීමට පියවර ගත්තා. ඒ සම්බන්ධයෙන් අපි එතුමාට කෘතඥතාව පළ කල යුතුයි.
“ වැව් දහසක් - ගම් දහසක් ” වැඩසටහන ඉදිරියටම යනවා. නමුත් ලබන ඔක්තෝබර් මාසය වනවිට මාස් කන්නයේ මහ වැස්ස ලැබෙන්න පුළුවන්. ඒ නිසා මම සියලුම නිලධාරින්ට උපදෙස් දුන්නා ඉක්මනටම වැව් පිරිසිදු කරන එක අවසන් කරන්න කියලා. යැයි ද අමාත්‍යවරයා කීය.