ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ගොවි ආර්ථිකය නඟා සිටුවීම වෙනුවෙන් වාරි ක්ෂේත‍්‍රයේ පුළුල් පරිවර්තනයක් සිදු කරන බව ජනපති පවසයි

    අගෝස්තු 23, 2018

    රට ගොඩනගන සංවර්ධන වැඩපිළිවෙළේදී ගොවි ආර්ථිකය නඟා සිටුවන සංවර්ධන ව්‍යාපෘතිවලට ප‍්‍රමුඛත්වයක් ලබා දෙන්නේ මේ රට ගොඩනැගිය හැකි නිවැරදි මාවත කෘෂිකර්මාන්තය නිසා බව ජනාධිපතිතුමා පවසයි.

    ඒ උදෙසා සිදුකරන ආයෝජනවල ප‍්‍රතිඵල ද පැහැදිලි අතර ඒ තුළින් ජනතාවට කඩිනමින් ප‍්‍රතිලාභ හිමිවන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව පෙන්වා දුන්නේ මෙම 24 වනදා දියත් කිරීමට නියමිත එල්ලංගා පද්ධති මගින් සබැඳුන ග‍්‍රාමීය වැව් 2400ක් ප‍්‍රතිසංස්කරණ මහා වාරි සත්කාරය සහ වයඹ ඇළ දෙවැනි අදියර වැඩ ආරම්භ කිරීමේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමට කොටුව ජනාධිපති මන්දිරයේ දී මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේදී ය.

    ණය බරින් නිදහස් වූ ආර්ථික සමෘද්ධිය ඇති ස්වයංපෝෂිත ජාතියක් ලෙස හෙට දවසේ නැගී සිටිය හැක්කේ ද කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ සිදුකෙරන විප්ලවීය පරිවර්තනය තුළින් බව ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    කෘෂිකාර්මික රටක් වුව ද ගොවි ආර්ථික නගාසිටුවන සංවර්ධන ව්‍යාපෘති සඳහා පසුගිය කාලය තුළ ප‍්‍රමුඛත්වයක් හිමි නොවීම තුළින් ගොවි ජනතාවගේ ගැටලූවට විසඳුම් හිමි නොවූ බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    කෘෂි ක්ෂේත‍්‍රයේ සංවර්ධනය වෙනුවෙන් රජය කි‍්‍රයාත්මක කරන ව්‍යාපෘති සඳහා සහය දැක්වීමට ලෝකයේ රටවල් රැසක් මේ වන විට ඉදිරිපත් වී ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා එම ආයෝජන කිසිසේත් රටට ණය බරක් ඇති නොකරන බව ද කියා සිටියේය.

    මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සමග නිරන්තරයෙන් අත්වැල් බැඳගන්නා වංචා දූෂණ පිළිබඳ කළු පැල්ලම් වත්මන් රජයේ තෙවසරක සංවර්ධන වැඩපිළිවෙළ තුළ දක්නට නොලැබුණු බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේය.

    එල්ලංගා පද්ධති මගින් සබැඳුන ග‍්‍රාමීය වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරි සත්කාරයේ සමාරම්භය සහ වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කටයුතු ආරම්භ කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මෙම 24 වනදා පොල්පිතිගම, කුඹුකුලාව වැව් පරිශ‍්‍රයේදී සිදු කෙරේ.

    වයඹ පළාතේ ගොවි ජනතාවට වසර ගණනාවක සිට යල – මහ කන්න දෙක අස්වැද්දීමට අවශ්‍ය ජලය නොමැතිවීමේ ගැටලූවට විසඳුම් ලබාදෙමින් මොරගහකන්ද – කළුගග මහා වාරි ව්‍යාපෘතියේ අතුරු ප‍්‍රතිඵලයක් ලෙස ජනාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ 2017 වසරේදී වයඹ ඇළ ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවිණි.

    මාතලේ දිස්ති‍්‍රක්කයේ පිහිටි කුඩා වැව් පද්ධතින් වෙත ජලය සපයා වෑමැඩිල්ල හා දේවහුව යන මහා වාරි ව්‍යාපෘතිවල සුරක්ෂිත ජල සැපයුම ලබාදීම හා කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ උතුරු ප‍්‍රදේශයේ පානීය ජල හි`ගයට තිරසාර විසඳුමක් ලබාදීම ද මෙමගින් අපේක්ෂිතය. වාර්ෂිකව අක්කර අඩි 105,000කට වාරි ජලය අඛණ්ඩව ලැබීම, කුඩා වැව් 353 ක් සහ ප‍්‍රධාන වැව් 08 ක් මහවැලි ජලයෙන් පෝෂණය වීම, වගාබිම් හෙක්ටයාර් 12,500ක් සංවර්ධනය වීම මෙහි ප‍්‍රතිලාභ වේ.

    මාධ්‍ය ආයතන ප‍්‍රධානින් සහ නියෝජිතයින් සමග පැවති හමුවට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්වරුන් ද වයඹ ඇළ ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවරුන්, නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya