ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාව හා වියට්නාම් අතර නව වෙළෙඳ ව්‍යාපෘතියක් Featured

    ඔක්තෝබර් 04, 2014

    ශ්‍රී ලංකාව අතර ආගමික සමාජයීය හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමේ දීර්ඝ කාලීන වැඩසටහනට සමගාමී ව නව වෙළෙඳ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ වියට්නාම් නව තානාපතිනි ප්හාන් ක්‍යු තු (Phan Kieu Thu) මහත්මිය පැවසුවා ය.


    වසර 40කට අධික කාලයක් තිස්සේ දෙරට අතර පවතින තානාපති සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ අපේක්ෂාවෙන් නව යෝජනාව ක්‍රියාත්මක කරන බව ඇය කීවා ය.


    ශ්‍රී ලංකාවේ නව වියට්නාම් තානාපතිනිය වශයෙන් පත් වූ ප්හාන් ක්‍යු තු මහත්මිය ඊයේ (03) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා හමුවූ අතර, එහිදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.


    ඒ යටතේ වියට්නාමයේ නිෂ්පාදිත සහල් හා වෙනත් නිමි භාණ්ඩ ශ්‍රී ලංකාව වෙත ලබා දීමට අපේක්ෂා කරන බවත්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මිල දී ගැනීම සඳහා වියට්නාමය බලාපොරොත්තු වන බවත් ඇය කීවාය.  වසර 1970 දී පමණ ආරම්භ වූ ශ්‍රී ලංකා වියට්නාම් තානාපති සබඳතා මේ වනවිට ශක්තිමත් වී ඇතැයි පැවසූ නව තානාපතිනිය මේ තුළින් දෙරටේ ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බව පැවසුවාය.


    අග්‍රාමාත්‍ය  ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා සමඟ සුහඳ පිළිසඳරේ නිරත වූ ප්හාන් ක්‍යු තු මහත්මිය  අග්‍රාමාත්‍යතුමා සමඟ අදහස් දක්වමින්, වසර 2014 සිට 2016 දක්වා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආසියාතික නියෝජිතයා වශයෙන් වියට්නාමය පත්කිරීම සඳහා ශ්‍රී ලංකාව ද දායක වූ බවත්, ඒ සඳහා නිරතුරුවම සිය රාජ්‍යයේ කෘතවේදීත්වය පළ කරන බවත් පැවසුවාය. වියට්නාම් සහ ශ්‍රී ලංකාව අතර, දැනට පවත්නා වෙළෙඳ ගනු-දෙනු තවදුරටත් ඉහළ නංවාගත යුතු යැයි ඇය යෝජනා කළා ය.

    ශ්‍රී ලංකාව හා වියට්නාම් අතර පවත්නා ද්වීපාර්ශ්වික දේශපාලන සබඳතා මේ වන විට ශක්තිමත් වී ඇතැයි එහිදී පැවසූ අග්‍රාමාත්‍යතුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ චෝදනාවේ දී ශ්‍රී ලංකාවට වියට්නාමය සහයෝගය දැක් වූ බව ද කීවේ ය. හෝ චින්ග් මිං මැතිතුමා වියට්නාමය සංවර්ධනය කිරීම සඳහා කළ කැප කිරීම සමස්ත ලෝකයාගේ ම ප්‍රශංසාවට ලක්වන්නක් බවත්, එතුමාගේ පිළිරුවක් ලංකාවේ මහජන ප්‍රදර්ශනය සඳහා ස්ථාපිත කර ඇති බව ද අග්‍රාමාත්‍යතුමා සිහිපත් කළේය.


    මෙහිදී වියට්නාමයේ නිෂ්පාදිත සහල්වලින් සකස් කරන ලද අග්‍රාමාත්‍යතුමාගේ සිතුවමක් නව තානාපතිනිය විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා වෙත පිළිගන්වන ලදී.


    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් ආචාර්ය අයි.එච්.කේ. මහානාම මහතා සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක සුනිල් ප්‍රේමරත්න මහතා  ද එක් වූහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya