ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මහා පරිමාණ දූෂණ මැඬලීමට ලේකම් කාර්යාලයක් Featured

    පෙබරවාරි 12, 2015

    මහා පරිමාණ දූෂණ වංචා කටයුතු විමර්ශනය කිරීම සහ ඒවාට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහි ව නිත්‍යානුකූලව කටයුතු කිරීම සදහා පත් කෙරෙන දූෂණ විරෝධී කමිටුව සඳහා ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කළේ ය.


    දූෂණ හා වංචාවල නිරතවන්නන්ට එරෙහි ව කටයුතු කිරීම හා අනාගතයේ දී දූෂණ හා වංචා සිදු වීම වැලුක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම ද මෙම දූෂණ විරෝධී කමිටුවේ වගකීම වනු ඇත.

    ලේකම් කාර්යාලයක් පිහිටුවීම පිළිබඳ කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

    පසුගිය රජය කාලයේ සිදු වූ වංචා දූෂණවලට එරෙහි ව පියවර ගන්නා බව පොරොන්දු වී බලයට පැමිණි නව රජය විසින් මේ වනවිට ඒ සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන බව ද ජනාධිපතිතුමා විසින් ද දැනුම් දී තිබේ.

    මීට අමතරව , මුදල් විශුද්ධිකරණය ඇතුළු මහා පරිමාණ නීතිවිරෝධී මුදල් ගනුදෙනු ගැන පරික්ෂා කිරීම සඳහා මූල්‍ය ගනුදෙනු වලට අදාළ අපරාධ විමර්ශන ඒකකයක් පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ පිහිටුවීමට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

    මේ පිළිබඳව වන රෙගුලාසි පොලිස් ආඥාපනතේ 55 වන වගන්තිය යටතේ පොලිස්පතිවරයා විසින් ඉදිරියේ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබේ.

    නව රජයේ මංගල කැබිනට් රැස්වීමේ දී දූෂණ විරෝධී කමිටුව පත් කිරීම සඳහා අනුමැතිය ලැබී තිබුණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයට අදාළ සංදේශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එතුමාගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා කමිටුවක් පත් කරන ලදී. ජාතික විධායක සභාව මේ සඳහා නිර්දේශ කර තිබේ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් දූෂණ විරෝධී කමිටුව සමන්විත වෙයි. මෙම කමිටුවේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන ක්ෂණික ප්‍රතිචාර කමිටුවක් පිහිටුවීමට ද පියවර ගැනේ.

     

    දූෂණ මර්දනය සඳහා දැනට පවතින නීතිමය රාමුව පිළිබඳව පවත්නා ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන අවස්ථා සම්බන්ධයෙන් සැලකිලිමත් වෙමින් විශේෂ පනතක් හඳුන්වා දීමේ යෝග්‍යතාව පිළිබඳව ද රජය සාකච්ඡා කර ඇත.

    දැනට තිබෙන ව්‍යවස්ථාපිත ආයතනික රාමුව තුළ තෝරා ගැනුණු සුදුසු නිලධාරීන් අවශ්‍ය අවස්ථාවල පත් කිරීමත් කෙටි කාලීන හා දිගු කාලීන ක්‍රියාමාර්ග අනුගමනය කිරීමත් සිදු කෙරේ.

    එහිදී, ජනාධිපති මැතිවරණ සමයේ බෙදා හරීම සඳහා ගෙනැවිත්, දැනට ගබඩා කර ඇති භාණ්ඩ පිළිබඳව සොයා බලා ඒවා හෙළිකිරීම, ඉඩම්, චංචල හා නිශ්චල දේපළ දූෂිත ලෙස අත්පත් කර ගැනීම් පිළිබඳ ව සොයා බලා හෙළිකිරීම,සේවක අර්ථසාධක අරමුදල, කොටස් වෙළෙඳපොළ වංචා හා දූෂණ පිළිබඳව හෙළිදරව් කිරීම , මහා පරිමාණ දූෂිතයන්ගේ වත්කම් හා බැරකම් පිළිබඳව සොයා ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මෙහි යෝජිත කෙටි කාලීන් ක්‍රියාමාර්ග වෙයි.
    වංචනික ලෙස ශ්‍රී ලංකාවෙන් පිටකරන ලද මුදල් පිළිබඳව සොයා බලා ඒවා අත්පත් කරගැනීම හා වැරදිකරුවන්ට දඬුවම් කිරීම, වඩා ශක්තිමත් අල්ලස් හෝ දුෂණ කොමිසමක් හඳුන්වාදීම, ජාතික ප්‍රසම්පාදන කොමිසමක් පත් කොට එමඟින් සියලු ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාගැනීම, ජාතික විගණන පනත ඉදිරිපත් කිරීම, ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම, මෙහි යෝජිත දීගකාලීන ක්‍රියාමාර්ගයි.

    මීට අමතරව හෙළිදරව් නොකළ වත්කම්වල මූලාශ්‍ර හෙළිදරව් කිරීම අනිවාර්ය කිරීම සඳහා පුළුල් ප්‍රතිපාදන සහිත පනතක් කඩිනමින් හඳුන්වාදීමටත් දැනට පවතින ආයතන වෙනුවට වඩාත් කාර්යක්ෂම සහ පුළුල් බලතල සහිත ආයතනයක් පිහිටුවීම පිණිස පනත් කෙටුම්පතක් නිර්දේශ කිරීමට අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබිණි.

    ඇතැම් මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාවේ නීති අනුව අනුගමනය කළ යුතු මූලික පියවර ගෙන තිබේද යන්න විමර්ශනයට ද කමිටුවක් පත් කිරීමට රජය ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කළේ ය.

    PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya