ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ලංකා ඉතිහාසයේ රාජ්‍ය සේවකයින්ගේ වැඩිම වැටුප් වැඩි වීම අද Featured

    පෙබරවාරි 25, 2015

    දින 100 වැඩපිළිවෙළ යටතේ ලංකා ඉතිහාසයේ රාජ්‍ය අංශයේ වැඩිම වැටුප් වැඩි වීම අද දින සිදු වෙන බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

    දින 100 වැඩපිළිවෙළ සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

     

    අවම මූලික වැටුප රුපියල් 11,730ක් වූ රාජ්‍ය සේවකයෙකුගේ දීමනා සමඟ ලබන මුළු වැටුප වන රුපියල් 25,040 ට නව රජයේ අතුරු අයවැයෙන් යෝජනා කළ පරිදි පළමු වැටුප් වැඩි කිරීම වන රුපියල් 5,000 එකතු වූ විට අද ලැබෙන මුළු වැටුප රුපියල් 30,000 ඉක්මවයි. නව රජය රුපියල් 10,000කින් වැටුප් වැඩි කිරීමේ පොරොන්දුව අනුව ඉතිරි රුපියල් 2,000 එළඹෙන ජුනි මාසයේ සිට මෙම වැටුපට එකතු වන අතර එවිට රාජ්‍ය සේවකයෙකු ලබන අවම වැටුප රුපියල් 32,000කට වඩා වැඩි වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන හා ප්‍රජාත්‍රන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ. දඩල්ලගේ මහතා පැහැදිලි කළේය.

     

    රුපියල් 47,515ක රාජ්‍ය අංශයේ උපරීම මූලික වැටුප ලබන රාජ්‍ය සේවකයෙකුට දීමනා සමඟ අද වැඩි වන රුපියල් 5,000 එකතු කළ විට ලැබෙන මුළු වැටුප රුපියල් 72,800ක් පමණ වන අතර එළඹෙන ජුනි මාසයේ සිට එකතු වන රුපියල් 2,000 සමඟ මුළු වැටුප රුපියල් 74,800 දක්වා වැඩි වේ.

     

    දින 100 වැඩපිළිවෙළ තුළ වැඩි කළ මුදල් මූලික වැටුපට එකතු කරන්නේ ද යන්න විශ්‍රාම වැටුප්, රජයේ ආදායම, පෞද්ගලික අංශවල බලපෑම යන කරුණු පදනම් කරගෙන මුදල් අමාත්‍යංශය සමඟ එක්ව අවධානය යොමු කරන බව ද නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

     

    රජයේ සේවකයෙකුගේ වැටුප රු. 10,000කින් වැඩිවීමෙන් ගෘහ ඒකකයක වැටුප් සහ වේතන වලින් ලැබෙන සාමාන්‍ය මාසික ආදායම 2014 වර්ෂයේ තිබූ අගයට වඩා රු. 1,637ක් ජාතික මට්ටමින් ද, රු. 2,004ක් නාගරික අංශ මට්ටමින් ද රු. 1,622ක් ග්‍රාමීය අංශ මට්ටමින් ද, රු. 448ක් වතු අංශ මට්ටමින් ද වැඩි වෙන බව ජේ. දඩල්ලගේ මහතා කියා සිටියේය.

     

    එසේම වැටුප් වැඩි වීම සමඟ රු. 1000කින් විශ්‍රාමික වැටුප් වැඩි වීම, සමෘද්ධි සහනාධාරය සියයට 200කින් වැඩි වීම, දරුවෙකු ප්‍රසූත කරන සෑම මවකටම රු. 20,000ක දීමනාව ලබා දීම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 13ක මිල අඩු වීම, ගෑස් මිල රු. 300කින් අඩු වීම, වී කිලෝ ග්‍රෑම් 1ක් මිලදී ගන්නා සහතික මිල රු. 50 දක්වා ඉහළ දැමීම, කිරි ගොවීන්ට කිරි ලීටරයකට ගෙවන මිල රු. 10කින් වැඩි කිරීම, සරසවි ශිෂ්‍යාධාර රු. 5,000 දක්වා වැඩි කිරීම, ඉන්ධන මිල අඩු වීම වැනි කරුණු සලකා බැලූ විට ගෘහ ඒකකයක සාමාන්‍ය මාසික ආදායම 2014 වර්ෂයේ පැවති ගෘහ ඒකක සාමාන්‍ය මාසික ආදායමට වඩා රු. 3,658කින් වැඩි වේ. එය ගෘහස්ත ආදායම වැඩි වීම හා වියදම අඩු වීම අතර ඇතිවන විශාල පරතරය අනුව සිදු වේ.

     

    ඉහත සඳහන් භාණ්ඩ මිල අඩු කිරීම හේතුවෙන් රටේ උද්ධමනය සියයට 2කින් අඩු කිරීමට හැකි වන බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන හා ප්‍රජාත්‍රන්තීය පාලනය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයා පැහැදිලි කළේය.

     

    රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීම අයවැයට අමතර බරක් නොවන බවත් නොවැම්බර් මස ඉදිරිපත් කරන ලද අයවැයට වඩා සියයට 0.2කින් පිරිවැය අඩුවන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

     

    තවද හැකි ඉක්මණින් ලංකාවේ වැඩ කරන සියලුම ජනතාවට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ විශේෂ අරමුණක් වන බවත් ස්වයං රැකියා ක්ෂේත්‍රවලට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට දැනටමත් සාකච්ඡා කරමින් සිටින බවත් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අවධාරණය කර සිටියේය.

     

    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්. ඩී. සෝමදාස මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya