ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ස්ථිර වූත් කල් පවතින්නා වූත් චීන - ලංකා මිත‍්‍රත්වය තවත් සවිමත් වේ

    මාර්තු 27, 2015
    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නූතන චීන චාරිකාව ඈත අතීතයේ පටන් සෑම දේශගුණයකටම ඔරොත්තු දෙන පරිදි දෙරට අතර ගොඩනැගී ඇති දැඩි මිත‍්‍රත්වය හා සහයෝගතාව තවදුරටත් ශක්තිමත් වීමට ආධාර වූ බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සමඟ පැවති ද්විපාර්ශවික සාකච්ඡා අවසානයේ නිකුත් කළ නිවේදනයේ නායක දෙපළ සනාථ කර ඇත. 
     
    අන්‍යොන්‍ය ගෞරවය සහ අවබෝධය මත පදනම් වූ ද්විපාර්ශවික මිත‍්‍රත්වය, පොදු සංස්කෘතික බැඳීම්වලින් සවිමත් වී ඇතැයි නායක දෙපළ අවධාරණය කළහ.
     
    චීනය ශ‍්‍රී ලංකාවේ නව රජය සමඟ කිට්ටු සුහද සහයෝගතාවක් සඳහා ඉදිරිපත්ව සිටීම සම්බන්ධයෙන් ජනාධිපති සිරිසේන මහතා ජනාධිපති ෂී ජින්පිං මහතාට සිය ස්තූතිය පළ කළේය. තම රජය ජනාධිපති ෂී මහතා චීනයේ අල්ලස් දූෂණ දුරලීමටත් යහ පාලනය ගොඩනැගීමටත් ගෙන ඇති පියවරවලින් ආදර්ශය ලබා ඇතැයි ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
     
    ජනපති දෙපළ සාමකාමී සහජීවනය උදෙසා වූ පංචශීල ප‍්‍රතිපත්තියට වූ සිය කැපවීම යළි තහවුරු කළහ. ත‍්‍රස්තවාදයට එරෙහි සටනට සහය දෙමින් ශ‍්‍රී ලංකාවේ ස්වෛරීයත්වය සහ භෞමික අඛණ්ඩතාවය රැකගැනීමට චීනය නිරන්තරයෙන් දැක්වූ සහයෝගයට ජනාධිපති සිරිසේන මහතා සිය බලවත් ස්තූතිය පළ කළ අතර ශ‍්‍රී ලංකා විදේශ ප‍්‍රතිපත්තිය දිගටම එක් චීනයක් පමණක්ය යන පිළිවෙත අනුගමනය කරන බව ද පෙන්වා දුන්නේය.
     
    චීන රජය ශ‍්‍රී ලංකාවේ අංග සම්පූර්ණ වකුගඩු රෝහලක් ඉදිකිරීමටත් වකුගඩු රෝගය පරීක්‍ෂා කිරීමේ නවීන යන්ත්‍රෝපකරණවලින් සමන්විත රාසායනාගාරයක් සහ නව තාක්‍ෂණික එම්.ආර්.අයි. ස්කෑන් යන්ත‍්‍රයක් ලබා දීමට කළ තීරණය සම්බන්ධයෙන් ජනාධිපති සිරිසේන මහතා ජනාධිපති ෂී මහතාට සිය ස්තූතිය පළ කළේය. රටේ ජනතාවගෙන් කොටසක් මුහුණ පා සිටින වකුගඩු රෝගයට ප‍්‍රතිකාර සඳහා මෙවැනි විශේෂිත රෝහලක අවශ්‍යතාව තදින් තිබුණ අතර එම අඩුව සපුරාලීමට චීනය ඉදිරිපත්වීම සිය බලවත් ප‍්‍රසාදයට හේතුවී ඇතැයි ජනාධිපතිතුමා සඳහන් කළේය. එමෙන්ම වකුගඩු රෝගයට හේතුවක් ලෙස සැලකෙන ජලයේ රසායනික සංයුතිය පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක් පවත්වා ජලය පවිත‍්‍ර කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවට ආධාර දීමට චීන විද්‍යා ඇකඩමිය ඉදිරිපත්ව සිටීම පිළිබඳව ද ජනාධිපතිතුමා සිය කෘතඥතාව පළ කළේය.
     
    මෙම චාරිකාවේ දී චීනය සහ ශ‍්‍රී ලංකාව අතර සහයෝගතාව පුළුල් කර ගැනීමේ අවබෝධතා ගිවිසුම් 5ක් අත්සන් කෙරුණු අතර එයට මහජන සෞඛ්‍යය, ජලය පවිත‍්‍ර කිරීම, වකුගඩු රෝග පර්යේෂණ කටයුතු, පොල් කර්මාන්තය නංවාලීම සහ ශ‍්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ප‍්‍රතිසංස්කරණය කිරීම ද ඇතුළත් විය. චීනය ඉදිරි පස් වසරේදී ශ‍්‍රී ලංකාවේ තරුණ විද්‍යාඥයන් 2000කට පර්යේෂණ පුහුණුව ලබා දීමටත් ශ‍්‍රී ලංකාවේ චීන භාෂා පුහුණුව නංවාලීමටත් සංස්කෘතික හුවමාරු වර්ධනය කර ගැනීමටත් පියවර ගැනීම සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමා චීන නායකයාට ස්තූතිය පළ කළේය.
     
    ශ‍්‍රී ලංකාවේ විදේශ ආයෝජන වැඩිකිරීමට චීනය ගත් තීරණයට ජනාධිපති සිරිසේන සිය පැසසුම පළ කළේය. නීතියේ ආධිපත්‍ය සහතික කරමින් ආයෝජනවල පාරදෘෂ්‍යභාවය සහතික කරමින් විදේශ ආයෝජන සඳහා වඩාත් යෝග්‍ය වාතාවරණයක් ඇති කිරීමට රජය පියවර ගන්නා බව ද ජනාධිපතිතුමා සහතික කළේය.
     
    නායක දෙපළ සංචාරක ක්ෂේත‍්‍රයේ ශීඝ්‍ර වර්ධනය ගැන ප‍්‍රසාදය පළ කරමින් එය තවත් වර්ධනය කර ගැනීම සඳහා සහයෝගයෙන් ක‍්‍රියා කිරීමට එකඟ වූහ.
     
    ආසියානු ආයෝජන සහ යටිතල පහසුකම් සංවර්ධන බැංකුවේ පුරෝගාමී සාමාජිකයකු ලෙස එයට එක්වන ලෙසට චීනය කළ ආරාධනය පිළිගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ෂී ජින්පිං ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාට සිය ස්තූතිය පළ කළේය.
     
    චීනය සහ ශ‍්‍රී ලංකාව දිගටම කලාපීය සහ ජාත්‍යන්තර වේදිකාවලදී සහයෝගයෙන් ක‍්‍රියා කිරීමට එකඟ වූ අතර ජනාධිපති සිරිසේන මහතා මානව හිමිකම් මණ්ඩලයේදී චීනය ශ‍්‍රී ලංකාවට දිගින් දිගටම දැක්වූ සහයෝගය ගැන සිය ස්තූතිය පළ කළේය. චීනය සාක් සංවිධානයේ නිරීක්‍ෂකයකු වශයෙන් ද සාමය සහ ස්ථාවරත්වය සඳහා වූ කලාපීය සංවිධානවල සාමාජිකයකු වශයෙන් ද කරන අගනා මෙහෙවර ගැන ජනාධිපතිතුමා සිය ප‍්‍රසාදය පළ කළේය.
     
    අවසන් වශයෙන් ජනාධිපති ෂී මහතා සහ ජනාධිපති සිරිසේන මහතා සිය දෙරට අතර මිත‍්‍රත්වය සහ අන්‍යෙන්‍ය යහපතට අදාළ වූ සහයෝගිතාව තර කර ගැනීමට නූතන චාරිකාව ප‍්‍රයෝජනවත් වූ බව ද සඳහන් කළහ.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya