ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ඊළඟ ජන වරම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රටත්, ජනතාවත් වෙනුවෙන් ඒ වැඩ කටයුතු කිරීම සඳහායි

    මැයි 25, 2015

    ඊළඟ ජන වරම ජනතාවගෙන් අප ඉල්ලා සිටින්නේ රටත් – ජනතාවත් වෙනුවෙන් ඒ වැඩ කටයුතු කිරීම සඳහා බවත් මහ මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම දේශපාලන පක්‍ෂ එකට ඒකරාශී කර ගෙන මුළු පාර්ලිමේන්තුවම එකම ආණ්ඩුවක් බවට පත් කිරීමට තමන්ට අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

     

    එම නිසා කිනම් දේශපාලන පක්‍ෂයකට මහ මැතිවරණයේ දී ඡන්දය දුන්නත් එවැනි වගකීමක් දරමින් කාර්යභාරයක් කළ හැකි පුද්ගලයන්ට මනාප ලබා දෙන්නැයි ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින බවත් අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේය.

     

    ඔහු මේ බව පැවසූවේ ඊයේ (24) කුරුණෑගල, කුලියාපිටිය නගර සභා ශාලාවේ පැවති කුලියාපිටිය එක්සත් ජාතික පක්‍ෂ බල මණ්ඩලය රැස්වීමේ දී ය.

     

    අවුරුදු පහළොවක පමණ වැඩ කොටසක් ඉදිරි අවුරුදු 5 ඇතුළත දී රටත්, ජනතාවත් වෙනුවෙන් ඉටු කිරීමේ වගකීම සහ කාර්යභාරය අප වෙත පැවරී තිබෙන බවත් ඒ වැඩ කටයුතු කිරීමට අපට සම්පූර්ණ හැකියාව සහ ශක්තිය තිබෙන අතර ඉදිරි අවුරුදු 5 ඇතුළත දී නියත ලෙසම අප මේ රට ලෝකයේ ඉදිරියට ගෙන යන බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

     

    තවදුරටත් සභාව අමතමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.

     

    “මහින්ද රාජපක්‍ෂ අවුරුදු 10 ක් මුළුල්ලේ මේ රට පාලනය කළ අතර යුද්ධයෙන් පසුව රට ගොඩනැගීම සඳහා අවුරුදු 5 ක් තිබුණත් ඔහුට සහ ඔහුගේ ආණ්ඩුවට ඒ කාර්යභාරය කිරීමට නොහැකි වුණා. කඩා වැටුණු ආර්ථිකය යුද්ධයක් තිබිය දී පවා එක අවුරුද්දකින් අග්‍රාමාත්‍යවරයා ලෙස මම එදා ආපසු හැරව්වා. එහෙත් මහින්ද රාජපක්‍ෂ යටතේ රටේ ආර්ථිකය අඛණ්ඩව කඩා වැටුණා.

     

    එසේනම් රටේ ප්‍රධානියා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රටටත්, අපටත් ලබාදෙන නායකත්වය යටතේ ක්‍රියාකරමින් අප සියලු පාර්ශවයන් එකට එක්වී ඉදිරියට යා යුතුයි. පරණ දේශපාලන සංස්කෘතිය අප මුලූමනින්ම අත් හළ යුතුයි.

     

    යුද්ධයෙන් ජීවිතක්‍ෂයට පත් ද්‍රවිඩ ජනයා සැමරිය යුතු යැයි කියා සිටි අවස්ථාවේ දී මියගිය අය සැමරිය යුත්තේ ඒ අයගේ ආගමට සහ ජාතියට අනුව පල්ලියේ හෝ කෝවිලේ බව අප කියා සිටියා. ඒ අනුව එම ජනයා යුද්ධයෙන් ජීවිතක්‍ෂයට පත් සිය සහෝදර ද්‍රවිඩ ජනතාව සැමරුවේ පල්ලියේ සහ කෝවිලේයි. එමෙන්ම ජාතික නිදහස් දින උත්සවයට ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා මෙවර අප සමග එක්ව සිටියා.

     

    ඇත්ත වශයෙන්ම මේ ජාතික සහ ආගමික සමගිය අප ඉදිරියට ගෙන යා යුතු අතර අප මේ කර තිබෙන්නේ විශාල විප්ලවයක් බව කිව යුතුයි. මෙබඳු වාතාවරණයක් සිය ජීවිත කාලයේ දී මේ රටේ යළි ඇති වනු ඇතැයි බොහෝ අය සිතුවේ නැහැ. එහෙත් සමහරුන් මේ ජාතික සහ ආගමික සමගිය කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරමින් සිටිනවා.

     

    මේ ආණ්ඩුව බහුතරයේ ආණ්ඩුවක් නොව, සුළුතරයේ ආණ්ඩුවක් බව මතක තබා ගත යුතු අතර සුළුතර ආණ්ඩුවක් දින 100 ක් වැනි කෙටි කාලයක් ඇතුළත දී මේ තරම් කාර්යභාරයක් සිදු කිරීම ඇත්තටම පුදුම සහගතයි. මේ තරම් කෙටි කාලයක් ඇතුළත දී මේ සා විශාල කාර්යභාරයක් කළ සුළුතර ආණ්ඩුවක් ලෝකයේ තිබෙනවාද? ඇත්ත වශයෙන්ම මේ වැඩ කටයුතු මේ ආකාරයට කිරීමට අපට හැකි වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිසා බව මේ අවස්ථාවේ දී සිහිපත් කළ යුතුයි.

     

    එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අයට කතා කරමින් ඒ අය කෙසේ හෝ පාලනය කර ගෙන ඒ අයගේ සහයෝගය ද ලබා ගෙන මේ වැඩ කටයුතු කිරීමට අපට සහයෝගය ලබා දුන්නා. ජනාධිපතිවරණයේ දී සෑම දේශපාලන පක්‍ෂයකින්ම සහ රටේ සෑම ජන කොටසකින්ම ඡන්දය ලැබුණු බව මෛත්‍රීපාල සිරිසේන මහතා අමතක කර නැහැ. ඒ පළපුරුද්ද මත එතුමා තමා තනි දේශපාලන පක්‍ෂයක ජනාධිපතිවරයෙකු බව ද, තනි පක්‍ෂයක් වෙනුවෙන් වැඩ කටයුතු කළ යුතු බව ද නොසිතා මේ දුර ගමන පැමිණ සිටිනවා.

     

    කෙසේ නමුත් එතුමා මේ ගමන ඉදිරියට පැමිණ සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට වරම ලබාදුන් පාර්ලිමේන්තුවෙනුයි. එම නිසා අපේ මූලික ප්‍රතිපත්ති අනුව අපේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යන්න අලූත් පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම සඳහා අප ජන වරමක් ලබා ගත යුතුව තිබෙනවා. “

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya