ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ටෝනි රණසිංහ මගේ ළෙංගතු මිතුරාට සදාතනික සැනසීම ප්‍රාර්ථනා කරමි - අගමැති

    ජූනි 17, 2015

    ටෝනි රණසිංහ නම් වූ සුවිශේෂ මිනිසා, සොඳුරු කලාකරුවා ලාංකේය භුමිය මත කොතරම් පරිපූර්ණව ජීවත් වූයේ ද යත් ඔහුගේ නික්ම යාමෙන් හිස් වන ඉඩ පිරවීම පහසු නොවේ යැයි අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ටෝනි රණසිංහ මහතා වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

     

    අග්‍රාමාත්‍යවරයාගේ ශෝක ප්‍රකාශනය :

     

    “ටෝනි රණසිංහ නම් වූ ප්‍රතිභාන්විත රංගධරයා, කලාකරුවා, අපූර්ව මිනිසා ජීවිතය අත්හරින්නේ, අත්හළ නොහැකි සදාතනික මතක සැමරුම් සම්භාරයක් උපන් බිමට තිළිණ කරමිනි. ශ්‍රී ලාංකේය සාහිත්‍ය කලා ක්ෂේත්‍රයට අනුපමේය දායකත්වයක් ලබා දුන් මේ සොඳුරු මිනිසාගේ ජීවිතය පරිපූර්ණ ය. අසිරිමත් ය. විශිෂ්ඨ ය. ඒ පිළිබඳ විවාදයක් නැත.

     

    1963 දී රන්තෝඩු වේදිකා නාට්‍යයෙන් තම රංගන දිවිය ආරම්භ කළ ටෝනි එකී රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය. ඔහුගේ වේදිකා රංග ප්‍රතිභාව බෝඩිංකාරයෝ, තට්ටු ගෙවල්, හරිම බඩු හයක්, විරූප රූප, වැනිසියේ වෙළෙන්දා, නිල් කටරොළු මල්, ජුලියස් සීසර්, දොළොස් වැනි රාත්‍රිය වැනි නාට්‍ය නිර්මාණ තුළ මනාව ප්‍රකට විය.

     

    1964 දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ගම් පෙරළිය සිනමා නිර්මාණයෙන් සිනමාවට පිවිසෙන ඔහු අනතුරුව හන්තානේ කතාව, රන්සළු, දෙලොවක් අතර, පරසතු මල්, දුහුළු මලක්, අහසින් පොළවට, ගඟ අද්දර, සප්ත කන්‍යා ආදී ලාංකේය සිනමාවේ විශිෂ්ඨ නිර්මාණ රැසක් සිය රංගන ප්‍රතිභාවෙන් ඔප් නංවා ඇත. ඔහු ටෙලි නාට්‍ය කලාවට ද ප්‍රවීණ රංගධරයෙකු ලෙස ලබා දුන් දායකත්වය ප්‍රශංසනීය ය.

     

    ටෝනි තරු ගුණයෙන් ද පිරිපුන් ප්‍රතිභාන්විත නළුවෙකි. සතතාභ්‍යාසයෙන් සහ කියවීමෙන් පරිණත වූ ඒ රංග පෞරුෂය අභිබවන්නට සමත් කිසිවෙකු නොවේ. රිදී තිරය විචිත්‍රවත් කළ රංග කෞශල්‍යය නිසාම සරසවි, ජනාධිපති, ඕ.සී.අයි.සී., ස්වර්ණ සංඛ වැනි සිනමා සම්මාන රැසකින් පිදුම් ලබන්නට ඔහු වාසනාවත් විය.

     

    දෙස් විදෙස් සාහිත්‍යය හැදෑරූ, නිරන්තරයෙන් පොත පත කියවූ දුර්ලභ ගණයේ නළුවකු වූ ටෝනි දක්ෂ ලේඛකයෙකි. තිර රචකයෙකි. පරිවර්තකයෙකි. කොටි වලිගය, කෙළිමඬල, අවරගිර, පවුරු වළලූ සිනමා තිර රචනා ඔහු සම්මානිත තිර රචකයෙක් බවට පත් කළේය. සම්භාව්‍ය ඉංග්‍රීසි සාහිත්‍යය නිරන්තරයෙන් ඇසුරු කළ ඔහු ෂේක්ස්පියර් නාට්‍ය පරිවර්තනය කළේය. තම රංගන දිවියට මහත් ආලෝකයක් වූ දිලිප් කුමාර්ට කොතෙක් ඇලූම් කළේ ද යත්, භාරතීය ලේඛක බනී රූබන් විසින් රචිත දිලිප් කුමාර් චරිතාපදානය සිංහලට නැඟුවේය.

     

    ටෝනි කලා ලොවට පිවිසෙත්ම ඔහු ඇසුරට පත්වන්නේ සුගතපාල ද සිල්වා, ජී.ඩබ්. සුරේන්ද්‍ර, සිරිල් බී පෙරේරා වැනි නව ලොවක් පිළිබඳ නිරන්තර සිහිනයෙන් පෙළුණු  "අපේ කට්ටියේ" සොඳුරු මිනිසුන් ය. සොයුරු ඇලෙක්ස් රණසිංහ ගේ ඇසුර ද ඔහු වෙනස් මිනිසකු කරන්නට දායක විය. ටෝනි රණසිංහ  ඥානය හඹා යන අපූර්ව මිනිසකු කරන්නට මේ පසුබිම හේතු වූවාට සැක නැත.

     

    ටෝනි මගේ ජීවිතයේ ඉතා සමීපව ඇසුරු කළ ළෙංගතු මිත්‍රයෙකි. මගේ දේශපාලන ජීවිතයේ යස-අයස, ලාභ-අලාභ, නින්දා-ප්‍රශංසා මේ කුමන තත්වයක් යටතේ වුව ඔහු මා අත් නොහැර සැම විටම මා සමඟ සිටියේය. මාසයකට වතාවක් හෝ දුරකථනයෙන් අමතමින් සැප දුක සොයා බලමින් මා දිරිගැන්වීය.

     

    රටක දියුණුව සඳහා ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව අවධාරණය කරමින් විවිධ සමාජ කොටස්වල දායකත්වයෙන් පැවැත්වූ 12 දෙනෙකුගෙන් යුත් සමුළුවක ටෝනි රණසිංහ එක් සාමාජිකයකු විය. එවකට අභියෝගාත්මක දේශපාලන කටයුතුවලට කිසිවකු ඉදිරිපත් නොවන වටපිටාවක ඔහු ලබා දුන් දායකත්වය කිසිසේත් අමතක කළ නොහැක.

     

    චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ අනර්ඝ සිහිනයක් මේ ප්‍රවීණ කලාකරුවාගේ සිතේ නොසිඳී පැවතිණි. පසුගිය රජය සමයේ ඔහු තිර නාටකයක් ලියා චිත්‍රපට සංස්ථාවට ඉදිරිපත් කළ ද එය ප්‍රතික්ෂේප විය. ඒ පිළිබඳ බලවත් සිත් වේදනාවෙන් ටෝනි කීපවරක්ම මා සමඟ කතා කළේය. නව රජය පත්වීමත් සමඟ චිත්‍රපට සංස්ථාව සමඟ මේ සම්බන්ධයෙන් කතා කර මූල්‍ය ප්‍රතිපාදන සපයා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින විට ටෝනි ජීවිතයෙන් සමුගැනීම ඉතාම කණගාටුදායක ය.


    ටෝනි රණසිංහ නම් වූ සුවිශේෂ මිනිසා, සොඳුරු කලාකරුවා ලාංකේය භුමිය මත කොතරම් පරිපූර්ණව ජීවත් වූයේ ද යත් ඔහුගේ නික්ම යාමෙන් හිස් වන ඉඩ පිරවීම පහසු නොවේ.

     

    ඔහු ගේ වියෝ වීමෙන් වේදනාවට පත් පවුලේ සැමට,  ඥාති හිත මිත්‍රාදීන්ට මාගේත් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේත් බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර, ටෝනි රණසිංහ මගේ ළෙංගතු මිතුරාට සදාතනික සැනසීම ප්‍රාර්ථනා කරමි.“

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya