ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    බුදු දහමේ හා හින්දු දහමේ පදනම ශ්‍රී ලංකා ඉන්දියා සබඳතාට සදාකාලික සවියක් - ජනපති

    මැයි 15, 2016

    බුදු දහමේ හා හින්දු දහමේ පදනම සහිත මිතුදමෙන් ඉන්දීයාව සහ ශ‍්‍රී ලංකාව අතර පවතින සබඳතා වලට සදාකාලික සවියක් ලැබී ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේය.

    ජනාධිපතිතුමා මේ බව සඳහන් කරනු ලැබුවේ ඊයේ (14) පෙරවරුවේ ඉන්දියාවේ උජ්ජේන් ප‍්‍රදේශයේ පැවති කුම්භමේලා අතිපවිත‍්‍ර දිනයේදී ජනතාවගේ ආධ්‍යාත්මික පුනරුදය උදෙසා පවත්වනු ලැබූ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයට ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවෙමිනි.

    හින්දු හා බුදු දහම ඉන්දියාවෙන් ලොවට ලැබුණ වටිනාම දායාදයක් වන බවත් අර්බුද වලින් පිරී වත්මන් සමාජයට එහි අවශ්‍යතාවය කවරදාකටවත් වඩා වැඩියෙන් දැනී ඇති බව බටහිර රටවල් ඒ පිළිබඳව දක්වන උනන්දුවෙන් පිළිඹිබු වන බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

    පෙරදිග ධර්මයන්ගේ සුවිශේෂිත්වයක් වන පරිසරය හා මිනිසා අතර පවතින සබඳතාවය ඒ ආකාරයෙන්ම රැකගෙන ශ‍්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙන යාමට තමන් ඇතුළු රජය කටයුතු කරන බවද ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

    එමෙන්ම ස්වභාවික පොහොර භාවිතයට ගොවියා හුරු කරමින් වසවිස නැති රටක් ගොඩනැගීම සඳහා මේ වනවිට ශ‍්‍රී ලංකා රජය කටයුතු කරන බවත් හින්දු හා බුදු දහමේ සඳහන් වන පරිදි පරිසරය හා බැඳි යහපත් සමාජයක් ඇතිකිරීමට දිගු කාලීන සැලසුම් ක‍්‍රියාත්මක කර ඇති බවත් ජනාධිපතිතුමා මෙහිදි අවධාරණය කර සිටියේය.

    වසර දොළහකට පසු එළැඹෙන කුම්භමේලා අතිපවිත‍්‍ර දිනයේ ජනතාවගේ ආධ්‍යාත්මික පුනරුදය උදෙසා පැවැත්වෙන මෙම සම්මන්ත‍්‍රණයට තමන්ට ආරාධනා කිරීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පලකළ ජනාධිපතිතුමා, ඉන්දීය රජය විසින් දක්වන ලද සත්කාර පිළිබඳ සිය කෘතවේදීත්වය පළකළේය.

    කුම්භමේලා උත්සවයට ශ‍්‍රී ලංකා ජනාධිපතිතුමා සහභාගී වීම සම්බන්ධයෙන් තමන් සිය සතුට ප‍්‍රකාශ කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙහිදි සඳහන් කර සිටියේය.

    මෙම අවස්ථාවට ඉන්දියාවේ හින්දු පූජකවරුන් විශාල පිරිසක් සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, මධ්‍ය ප‍්‍රදේශ් ප‍්‍රධාන අමාත්‍ය සිවරාජ් සිංග් චෞහාන්, භාරතීය ජනතා පක්ෂයේ මහලේකම් රාම් මාධව් ඇතුළු පිරිසක් සහභාගී වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya