ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මූල්‍ය ප‍්‍රතිපාදන සංවර්ධනයට යෙදවීම ගැන ලෝක බැංකු ප‍්‍රධානීන්ගේ ඇගයීමට

    මැයි 25, 2016

    ජන ජීවිතය නගා සිටුවමින් සංවර්ධනය කරා යන ශ‍්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ලබාදෙන මූල්‍යමය ප‍්‍රතිපාදන තවත් වසර 04ක් සඳහා ලිහිල් ප‍්‍රතිපත්තිය යටතේ ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක බැංකු ප‍්‍රධානීන්ගෙන් කරන ලද ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාර හිමි වේ.

    ලෝක බැංකුවේ විධායක නිලධාරීන් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (24)  ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූ අතර එහිදී මේ බව සඳහන් කෙරිණි.

    ලෝක බැංකු ආධාර යටතේ ශ‍්‍රී ලංකාවේ සිදුකෙරෙන විවිධ ව්‍යාපෘතීන්හි ප‍්‍රගතිය සොයා බැලීමට සහ කොන්දේසිවලට යටත්ව ලබාදෙන ණය පහසුකම්වල ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීම සඳහා ලෝක බැංකු විධායක නිලධාරීන් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ වසර 34 කට පසුවය.

    ශ‍්‍රී ලංකාවට මෙතෙක් ලබාදුන් ලෝක බැංකු ආධාර පිළිබඳව දිවයිනේ දිස්ත‍්‍රික්ක කිහිපයක සංචාරය කරමින් ලබාගත් කරුණු මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි.

    ශ‍්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් වර්ධනය කර ගනිමින් සංවර්ධන කරා යන ගමනට අත්වැල් බැඳගන්නා ලෙස මෙහිදී ලෝක බැංකු නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිතුමා මධ්‍ය ආදායම් ලබන රටවල් යටතට ලංකාව ඇතුළත් කිරීමේදී ණය ආධාර ලබාදීමට බලපාන කොන්දේසි නැවත සලකා බලන ලෙස ද ඉල්ලා සිටියේය.

    තිස් අවුරුදු යුද්ධය නිමාවීමත් පශ්චාත් යුද සමයේ සංවර්ධන කටයුතු ක‍්‍රියාත්මක කිරීමත් ගෝලීය දේශගුණික බලපෑම සමග ඇතිවූ ගංවතුර සහ නායයෑම් ව්‍යසනය රට ඉදිරියේ ඇති සංවර්ධන බාධක ලෙස අභියෝගයක් ව පවතින බවත් ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

    ලෝක බැංකු නියෝජිත පිරිස ලංකාව ඇතුළු රටවල් හැටක ආර්ථික සමීක්ෂණ කටයුතු වල නියැලෙන අතර එම රටවල් අතුරෙන් ලංකාව වැදගත් ස්ථානයක පවතින බව ඔවුහු ප‍්‍රකාශ කළහ.

    තමා ජනාධිපති ධූරයට පත් වී ගතවූ කාලය තුළදී ජනාධිපතිවරයා සතු විධායක බලතල රැසක් පාර්ලිමේන්තුවට පවරා දීම, කොමිෂන් සභා ඇති කිරීම, නීතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නිදහස ස්ථාපිත කිරීම මෙන්ම ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ගත් ක‍්‍රියාමාර්ග පිළිබඳව ද ජනාධිපතිතුමා එම නියෝජිත පිරිස දැනුවත් කළේය.

    සංවර්ධන වැඩපිළිවෙළ තුළ ලෝක බැංකු ණය ආධාර යොදවා ඇති නිසි ක‍්‍රමවේදයත්, ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියේදී දැක්වූ විනිවිද භාවය පිළිබඳවත් සෑහීමකට පත්වන බව පැවසූ ලෝක බැංකු නියෝජිත පිරිස මධ්‍ය ආදායම් සහිත රටවලට ලබාදෙන ණය ආධාර පිළිබඳ කොන්දේසි කෙරෙහි නැවත සලකා බලන ලෙස ජනාධිපතිතුමා කරන ලද ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇති බව ද කියා සිටියේය.

    තවද රටේ වත්මන් ආනයන අපනයන තත්ත්වය, විදේශ වත්කම් ඇතුළු විදේශ ප‍්‍රතිපත්තිය පිළිබඳව ද මෙහිදී නියෝජිත පිරිස දැනුවත් කෙරිණි.

    ලෝක බැංකු විධායක නිලධාරීන් , මෙරට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, විදෙස් සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රියන්ත රත්නායක, අධ්‍යක්ෂ විශාඛා අමරසේකර යන මහත්ම මහත්මීන් ද මෙම සාකච්ඡවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya