ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජනපති අද ජී 7 සමුළුවට දිවයිනෙන් පිටත්ව යයි

    මැයි 25, 2016

    ජපානයේ පැවැත්වෙන ජී-7 හෙවත් ප‍්‍රධාන කාර්මික රටවල් හතේ කණ්ඩායම් රාජ්‍ය නායක සමුළුවේ සමගාමී සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම අද (25)  දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

    ජී- 7 සමුළුවේ වත්මන් සභාපති ජපාන අගමැති ෂින්සෝ අබේ මහතාගේ විශේෂ නිල ආරාධනයෙන් ජනාධිපතිතුමා මෙම සංචාරයට එක් වන අතර ජී – 7 සමුළුවේ සමගාමී සමුළුව සඳහා ශී‍්‍ර ලාංකීය රාජ්‍ය නායකයෙකුට ලැබුණු ප‍්‍රථම නිල ආරාධනය මෙය වීමද විශේෂත්වයකි.

    මෙම සමුළුව හෙට (26) සහ අනිද්දා (27) තුළ ජපානයේ ෂිශාහි නගරයේ දී පැවැත්වෙයි.

    සාමයට සහ සෞභාග්‍යයට සාර්ථකම මාර්ගය පෙන්වා දෙමින් නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නීතියේ ආධිපත්‍ය හා මානව අයිතිවාසිකම්වල මූලික අගයන් බෙදා හදා ගැනීමේ අරමුණින් මෙවර ජී – 7 සමුළුව පැවැත්වෙයි.

    සාම්ප‍්‍රදායික ජී-7 න්‍යාය පත‍්‍රයට අමතරව ගෝලීය ආර්ථිකය, විදේශ ප‍්‍රතිපත්ති, ජාතික ආරක්ෂාව, ගෝලීය සෞඛ්‍ය, කාන්තා සවිබල ගැන්වීම යනාදිය කෙරෙහි ද මෙවර සමුළුවේදී අවධානය යොමු කිරීමට නියමිතය.

    ජී -7 සමුළුව 1970 දශකය මුලදී පිහිටුවා ගන්නා ලද්දේ ලෝක තෙල් අර්බුදයේ දැඩි පීඩනය මතය. වර්ෂ 1973 දී හට ගත් ලෝක තෙල් අර්බුදයට මුහුණ දීමේදී ප‍්‍රධාන තෙල් පාරිභෝගික රටවල් වන කාර්මික බලවතුන් පොදු ප‍්‍රවේශයකට එළැඹිය යුතු බව කියා සිටි එවක ප‍්‍රංශ ජනාධිපති වූ ගිස්කාද් දොස්තේ මහතා 1975 දි පැරිසියේ දී කාර්මික රටවල රැස්වීමක් කැඳවීය.

    ප‍්‍රංශය, ජර්මනිය, ෆෙඩරල් ජනරජය, බි‍්‍රතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය, ඉතාලිය සහ ජපානය නැමති මහ කාර්මික රටවල් නියෝජනය කළ නායකයෝ එම රැස්වීමේදී ජී- 6 කණ්ඩායම පිහිටුවා ගත්හ. 1976 දී කැනඩාවත් එකතු වීමෙන් එය ජී – 7 බවට පත් විය.

    1997 රුසියාව එක්වී ජී 8 සමුළුව බිහි වුවද 2014 වසරේදී එහි සාමාජිකත්වය අත් හිටුවනු ලැබිය.

    ඒ අනුව යළිත් එය ජී -7 බවට පත්වූ අතර එහි වත්මන් සාමාජිකත්වය ඇමරිකා එක්සත් ජනපදය, ප‍්‍රංශය, ජර්මනිය, බි‍්‍රතාන්‍ය, කැනඩාව, ඉතාලිය සහ ජපානය විසින් දරනු ලබයි. ලෝක වත්කමින් සියයට 60 ක් මෙම රටවල් හතට හිමිව තිබෙන අතර ලෝකයේ සමස්ත නිෂ්පාදනයෙන් සියයට 46 ක් නිෂ්පාදනය කෙරෙන්නේ ද මෙම රටවලය.

    ජී -7 සමාජිකයෙකු නොවන රටකට ඔවුන්ගේ නායක සමුළුවක් ඇසුරෙහි සංවර්ධනාත්මක සංවාදයකට අවස්ථාවක් ලැබීම ඉතා විරල සහ වටිනා අවස්ථාවක් වන අතර එහි උපරිම ඵල නෙළා ගනිමින් බලවත් රාජ්‍ය නායකයින් හත් දෙනා ඉදිරියට අපේ රටේ ප‍්‍රතිරූපය ගෙන යාමටත්, මෙරට ආර්ථිකයට අවශ්‍ය උපරිම ප‍්‍රයෝජන ලබා ගැනීමටත් ජනාධිපතිතුමා මෙම සංචාරය තුළින් කටයුතු කරනු ඇත.

    ජාත්‍යන්තර ප‍්‍රජාව ශී‍්‍ර ලංකාව කෙරෙහි දක්වන ගෞරවය මෙන්ම විශ්වාසයත්, රටේ ගමන්මඟ දෙස අපේක්ෂා පූර්වකව ඔවුන් බලා සිටින අයුරුත් ජනාධිපතිතුමා ලද මෙම නිල ආරාධනයෙන් පිළිබිඹු වන බව විචාරකයෝ පෙන්වා දෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya