ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සංවර්ධන අරමුණු ජය ගැනීමට සියලු රාජ්‍ය ආයතන කැපවිය යුතුයි - ජනපති

    මැයි 25, 2016

    අලුතින් සිතා, නව සැළසුම් ඔස්සේ සිය ආයතන ව්‍යුහාත්මක වෙනස්කම්වලට භාජනය කරමින් සංවර්ධන අරමුණු ජය ගැනීමට සියලු රාජ්‍ය ආයතන කැපවිය යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මාර්ග සංවර්ධන අධිකාරියේ 30 වන වර්ෂ පූර්ණ සැමරුම නිමිත්තෙන් සේවක දායකත්වය ඇගයීමේ තිළිණ ප‍්‍රදානෝත්සවයට ඊයේ (24) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී එක් වෙමිනි.

     

    සිරිලක යා කළ නොනිමි මෙහෙවර, නමින් සංවිධානය කර තිබූ මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී මාර්ග සංවර්ධන අධිකාරියේ වසර 25 ක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක සේවිකාවන් 360 දෙනෙකුට සම්මාන ප‍්‍රදානය කෙරුණු අතර එය සංකේතවත් කරමින් 10 දෙනෙකු වෙත සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    රජයක වගකීම් ඉටුකිරීමේදී දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරින් ලෙස බෙදී වෙන්විය නොහැකි බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා කැපවීමෙන් සහ පරිත්‍යාගශීලිව සිය වගකීම් සහ යුතුකම් රට වෙනුවෙන් ඉටු කිරීම සියලුදෙනාගේ වගකීම බවද ප‍්‍රකාශ කළේය.

     

    සංවර්ධන කාර්යයේදී මූල්‍ය ප‍්‍රතිපාදනවල විධිමත්භාවය සේම රාජ්‍ය සම්පත් හා දේපළ නිසි කළමණාකරණය, පරිපාලනය සහ නඩත්තුව පිළිබඳවද ප‍්‍රමුඛ අවධානයක් යොමු කිරීම අත්‍යාවශ්‍ය බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

     

    රාජ්‍ය වත්කම් සහ දේපළ කළමනාකරණය සහ නඩත්තුව පිළිබඳ අප කොතෙක් දුරට අවධානය යොමු කරනවාද යන්න හදවතින් ඇසිය යුතු ප‍්‍රශ්නයක් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා නිදහසින් පසු ලංකාවේ ගෙවී ගිය දශක 06 තුළ රාජ්‍ය දේපළ හා වත්කම් නිසි කළමනාකරණයකට සහ නඩත්තුවකට ලක් කළා නම් අද අප සංවර්ධනයෙන් මීට වඩා බොහෝ ඉදිරියට ගොස් තිබෙන බව ද ප‍්‍රකාශ කළේය.

     

    උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට සහ රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාට ජනාධිපතිතුමා අතින් සමරු තිළිණ පිළිගැන්වීමද මෙහිදී සිදු විය.

     

    අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සමරු තිළිණයක් පිරිනැමීය.

     

    අමාත්‍යවරුන් වන දයා ගමගේ, ඩි.එම්. ස්වාමිනාදන්, චන්ද්‍රානි බණ්ඩාර, ගයන්ත කරුණාතිලක යන මහත්ම මහත්මින් ද මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි, අධ්‍යක්ෂ ජනරාල් එම්.පී.කේ.එල් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya