ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රටේ අනාගත පරපුර වෙනුවෙන් සමෘද්ධිමත් අනාගතයක් උදා කරලීම එකම බලාපොරොත්තුවයි

    ජූලි 22, 2016

    දේශපාලන හා වානිජ අංශ දෙකම සම්බන්ධ කරමින් රැකියා වෙළඳපොළ ඇති කර ආයෝජන වැඩි කිරීමට කටයුතු කරන බවත් කුමන දේශපාලන චෝදනා අවලාද නැගුවත් රටේ අනාගත පරපුර වෙනුවෙන් සමෘද්ධිමත් අනාගතයක් උදා කරලීම ජනාධිපතිතුමාගේත් තමාගේත් එකම බලාපොරොත්තුව වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 


    අග්‍රාමාත්‍යවරයා පසුගියදා සිදු කළ සිංගප්පූරු නිල සංචාරය පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරමින් මේ බව ප්‍රකාශ කළේ ය.


    සිංගප්පූරු නිල සංචාරය පිළිබඳ විශේෂ ප්‍රකාශය

    ගරු නියෝජ්‍ය කථානායකතුමනි,

    මා මේ අවස්ථාවේ නැගී සිටියේ මේ සතියේ සඳුදා සහ අගහරුවාදා දින දෙකෙහි එනම් 17 සහ 18 දින දෙකෙහි ම විසින් සිංගප්පූරු අග්‍රාමාත්‍ය ගරු ලී සියැං ලූං මැතිතුමාගේආරාධනයෙන් සිංගප්පූරුවේ යෙදුනු නිල සංචාරය පිළිබදව මෙම ගරු සභාව දැනුවත් කිරීමටයි.

    විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා, සංවර්ධන උපාය මාර්ග සහ  ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා සහ අධිකරණහා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මැතිතුමා මා සමග මෙම සංචාරයට එක් වුනා.

    මෙම සංචාරයේදී පළමුවෙන්ම මම රැෆල්ස් නාගරික සම්මන්ත්‍රණ කේන්ද්‍රයේදී පැවැත්වුණු තුන්වන දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවේ ආරම්භක සැසිවාරයේ ප්‍රධාන දේශනය පවත්වමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීමට නව රජය විසින් ආරම්භ කර ඇති සැලසුම් පිළිබඳව පැහැදිළි කළා.

    ශ්‍රී ලංකාව කලාපීය භාණ්ඩ හුවමාරු, ව්‍යාපාරික හා මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය අරඹා ඇති වැඩපිළිවෙළත් මුහුදු, ගුවන්, මහාමාර්ග, බලශක්ති සහසන්නිවේදන ක්ෂේත්‍රයන්හි පහසුකම් වර්ධනය කිරීම සඳහා වන අපගේ භෞතික

    යටිතල පහසුකම් සංවර්ධන වැඩපිළිවෙළත් මා ඔවුන්ට පැහැදිලි කලා. ඒ වගේම, අප විසින් අරඹා ඇති නව සංවර්ධන වැඩපිළිවෙළ මෙන්ම රැකියා දස ලක්‍ෂයේ වැඩපිළිවෙළ,
    හා ශක්තිමත් මධ්‍යම පන්තියක් බිහි කිරීම සඳහා වන සැලසුම් පිළිබඳවත් මා ඔවුන් දැනුවත් කළා.

    තවද, මහනුවර - කොළඹ - හම්බන්තොට ආර්ථික කලාප සංවර්ධන වැඩසටහන පිළිබඳවත් මහනුවර නගර සංවර්ධන ව්‍යාපෟතිය, වයඹ කලාපීය කර්මාන්ත හා සංචාරක වැඩපිළිවෙල, බස්නාහිර මෙගාපොලිස් වැඩපිළිවෙල, ගාල්ල කේන්ද්‍ර කරගත් දකුණු පළාත් සංචාරක කර්මාන්ත ප්‍රවර්ධන වැඩපිළිවෙල, හම්බන්තොට නව ආර්ථික කලාප වැඩපිළිවෙල යන ව්‍යාපෘති පිළිබඳවත් මා ඔවුන් දැනුවත් කළා.

    බස්නාහිර මෙගාපොලිස් ව්‍යාපෘතියට පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 40 ක් අවශ්‍යයි. හම්බන්තොට ආර්ථික කලාප සංවර්ධනයට ඩොලර් බිලියන 10ක් අවශ්‍යයි. මේ සඳහා අවශ්‍ය ආයෝජන පිළිබඳව මා ඔවුන් දැනුවත් කළා.

    මේ වැඩසටහන අප කලාපයේ විශාලම ආර්ථික සංවර්ධන වැඩසටහනයි. මෙය මුම්බායි - දිල්ලි ආර්ථික කලාපයට සමානයි.

    මෙය ඉන්දියන් සාගරයේ විශාලම ආර්ථික කේනද්‍රස්ථානය බවට පත් වී දකුණු ඉන්දියානු ආර්ථිකයට පවා බලපෑමක් එල්ල කරනු ඇති බව අපගේ විශ්වාසයයි. අනතුරුව 17 වැනි දින සිංගප්පූරු ජනාධිපති ආචාර්ය ටෝනි ටෑන් කෙන් යෑම් මැතිතුමා සහ අග්‍රාමාත්‍ය ගරු ලී සියැං ලූං මැතිතුමන් හමු වුනා. ජනාධිපතිතුමා සමග පැවති හමුවට සිංගප්පූරු විදේශ අමාත්‍ය ගරු විවියන් බාලක්‍රිෂ්ණන් මැතිතුමා සහ වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍ය ගරු එස්. ඊෂ්වරන් මැතිතුමා ද එක්වුනා. සිංගප්පුරු අග්‍රාමාත්‍ය ලී මැතිතුමා, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ජයග්‍රහනය පිළිබඳවත්, ප්‍රධාන පක්ෂදෙක එක්ව පිහිටුවන ලද ජාතික රජය පිලිබඳවත්  සියසතුට සහ විශ්වාසය පළ කලා.

    විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් හැකි සෑම උපකාරයක්ම කරන බවට එතුමා පොරොන්දු වුනා.සිංගප්පූරුව සමග අත්සන් කිරීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුම මෙන්ම ඉන්දියාව සහ චීනය සමග අත්සන් කිරීමට නියමිත සහයෝගීතා ගිවිසුම් පිළිබඳවද අප සාකච්ඡා කළා. වසර 13 අනිවාර්ය අධ්‍යාපනය සමග වෘත්තීය පුහුණු අවස්ථා සම්බන්ධ කිරීම තුලින් අපේ තරුණ තරුණියන් කාර්මික අංශයේ රැකියා වලට සුදුසුකම් ලබන බව මා පෙන්වා දුන්නා.

    ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ ගුණාත්මක බව වැඩිකිරීමට ඇති අවශ්‍යතාව ම විසින් පෙන්වා දුන් අතර ඒ සඳහා සහයෝගය ලබා දීමට ද සිංගප්පූරු අගමැතිතුමා පොරොන්දු වුනා. මේ වසරේ නොවැම්බර් මස ලංකාවේ පැවැත්වීමට නියමිත දකුණු සහ අග්නිදිග ආසියා රටවල බහුවිධ සමාජයන්හි ආගම සතු කාර්යභාරය පිළිබඳ ජාත්‍යත්තර සමුළුව පිළිබඳව ම විසින් දැනුම් දුන් අතර ඒ සඳහා සිය සම්පූර්ණ සහයෝගය දැක්වීමට  සිංගප්පූරු අගමැතිතුමා එකඟ වුනා.

    ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන මෙන් මවිසින් කරන ලද ආරාධනයත් එතුමා ඉතා සතුටින් පිළිගත්තා. මෙම සංචාරය අතරතුරදී සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හුවමාරු වැඩසටහන්, මෙගාපොලිස් ව්‍යාපෘතිය, සිංගප්පූරු සිවිල් සේවා විද්‍යාලය සමග රාජ්‍ය නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය සහ තාක්ෂනික සහ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් කරනු ලැබුවා.

    19 වැනිදා උදේ අප කණ්ඩායම සිංගප්පූරු සිවිල් සේවා විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුනා. අප විසින් අත්සන් කළ අවබෝධතා ගිවිසුමේ පරිදි 35 බැගින් වූ සමන්විත රාජ්‍ය නිලධාරීන් කණ්ඩායම් 2ක් මෙම වසර තුළ පුහුණු කිරීමට සිංගප්පූරු සිවිල් සේවා විද්‍යාලය කටයුතු කරනවා. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය සමග දැනටමත් පවතින පුහුණු වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමට ඔවුන් එකඟතාවය  පළකලා.

    අනතුරුව සිංගප්පූරු ජාත්‍යන්තර ව්‍යවසායකත්ව ආයතනය මගින් සංවිධානය කරන ලද ව්‍යාපාරික හමුවකට අප සහභාගී වුනා. මෙයට සිංගප්පූරු වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍ය ගරු එස්. ඊෂ්වරන් මැතිතුමා‍ මෙන්ම සිංගප්පුරුවේ ප්‍රධාන සමාගම් 15 ක ප්‍රධානීන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් සහභාගී වුනා. එහිදී ඔවුන් ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ආයෝජන සඳහා සූදානමින් සිටින බව අප වෙත දැනුම් දුන්නා. දැනටමත් සිංගප්පූරුආයෝජකයින් කිහිප දෙනෙක් මෙරට ආයෝජන කටයුතු අරඹා අවසන්. එසේම මා එහිදී මෙරට පිහිටුවීමට නියමිත සංවර්ධනය සඳහා වූ නියෝජිතායතනයේ (Agency for Development) සිංගප්පූරු ආයෝජකයන්ට පහසුකම් සැලසීම සඳහා වෙනම අංශයක් පිහිටුවීමට පොරොන්දු වුනා.

    ඒ වගේම සිංගප්පූරුවේ වරාය අවට ආරම්භ කර ඇති නවතම සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීමටද අපට අවස්ථාව ලැබුනා. ශ්‍රී ලංකාවේ එවැනි සංවර්ධන කටයුතු සැලසුම් කිරීමට සහයෝගය ලබා දීමටත් එහිදී එකඟතාවය පළ කළා. ඉදිරි දිනක දී වෙළෙඳ හා ආයෝජන කටයුතු පිලිබඳ ව සාකච්ඡා කිරීමට චීනය බලා යාමට මා ‍බලාපොරොත්තු වෙනවා.ඒ වගේම, ජපානය සමඟ ආර්ථික සහයෝගීතාව හා ආයෝජන ප්‍රවර්ධනයපිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා මා ජපානයේ සංචාරයක නිරතවීමට ද අපේක්‍ෂා කරනවා. ජනාධිපතිතුමාත්, සංවර්ධන උපාය මාර්ග සහ විදේශවෙළෙඳාම පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමාත් මෑතක දී ඉන්දියාවේ සංචාරයන්හි නිරත වී වෙළෙද සහ  ආර්ථික සහයෝගීතාවයන් පිළිබඳව සාකච්ඡා කළා.

    ඔක්තෝබර් මස මුලදී නවදිල්ලියේ දී පැවත්වීමට නියමිත ඉන්දීය ලෝක ආර්ථික සමුළුවේදී මම තවදුරටත් ඉන්දීය අගමැතිතුමා සහ අනෙකුත් මැති ඇමතිවරුන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ජී.එස්.පී + සහනය ලබා ගැනීමට අයදුම් පත මේ වනවිට අප යුරෝපා සංගමයට භාර දී තිබෙනවා. මේ හැම දෙයක්ම අප කරන්නේ අප රටේ අහිංසක තරුණ තරුණියන්ට රැකී රක්ෂා ලබා දෙන්න, ඔවුන්ට ආත්ම ගරුත්වයක් ඇතිව සතුටින් ජීවත් වෙන්න පුලුවන්  පරිසරයක් ඇති කරන්න.

    රැකියා දස ලක්ෂයක් ලබා දෙන බවට අපි දුන් පොරොන්දුව ඉටු කරන්න තමයි මා මේ හැම දෙයක්ම කරන්නේ. චීනය, සිංගප්පූරුව, ජපානය, යුරෝපීය සංගමය සහ ඉන්දියාව සමග ආර්ථික හා වෙළෙඳ සහයෝගීතා ගිවිසුම් අත්සන් කරන්නේ රැකියා ජනිත කරන්න.පිටරටවල අයට ලංකාවේ රස්සා දෙන්න නෙවෙයි. අපි අපේ දේශපාලන හා වානිජ අංශ දෙකම සම්බන්ධ කරලා රැකියා වෙළඳපොළ ඇති කරලා ආයෝජන වැඩි කරන්න කටයුතු කරනවා. චීන ආයෝජකයින් දැනටමත් හම්බන්තොට ආයෝජන කටයුතු ආරම්භ කොට තිබෙනවා.ශ්‍රී ලංකාවේ ජාතිකආණ්ඩුව ලෝකයේ පැසසුමට ලක් වෙලා තිබෙනවා. ජාතික ආණ්ඩු සංකල්පය තුලින් ඉදිරි වසර 5 ක කාලය තුළ අපගේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරි කාලය තුල මෙම ක්‍රමවේදය අපි වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යනවා. මේ කාලය තුලම මේ ජාතික ආණ්ඩුවයි පවතින්නේ. ඒ ගැන කිසිඳු සැකයක් තබා ගත යුතු නැහැ.


    ගරු නියෝජ්‍ය කතානායකතුමනි,

    අවසාන වශයෙන් මම කියන්න කැමතියි, මොන විදියේ දේශපාලන චෝදනා අවලාද නැගුවත් ජනාධිපතිතුමාගේත් මගේත් එකම බලාපොරොත්තුව මේ ‍රටේ අනාගත
    පරපුරවෙනුවෙන් සමෘද්ධිමත් අනාගතයක් උදා කරළීම පමණයි. 2015 ජනවාරි 08 වැනි දින මේ රටේ ජනතාව අප‍ කෙරේ තැබූ විශ්වාසය ඒ  ආකාරයෙන්ම ආරක්ෂා කරන බවත් මම කියන්න කැමතියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya