ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ආර්ථික හා තාක්‍ෂණික සහයෝගීතා ගිවිසුම අත්සන් කරන්නේ රටේ තරුණ තරුණියන්ට රැකියා ලබා දීමටයි

    අගෝස්තු 10, 2016

    ආර්ථික හා තාක්‍ෂණික සහයෝගීතා ගිවිසුම අත්සන් කරන්නේ රටේ අහිංසක තරුණ තරුණියන්ට රැකී රක්ෂා ලබා දීමට බවත් ඔවුන්ට ආත්ම ගරුත්වයක් ඇතිව සතුටින් ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් විමසූ පැනයකට පිළිතුරු දෙමින් අද (10) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ ය.

    තවදුරටත් අඳහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා;

     

    2015 සැප්තැම්බර් මාසයේ මා සිදු කළ ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මැතිතුමා සමඟ දෙරටේ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම ගැන සාකච්ඡා කළා. එහිදී ඉන්දියාව හා ලංකාව අතර ආර්ථික හා තාක්‍ෂණික සහයෝගීතා ගිවිසුමක් (Economic andTechnology Cooperation Agreement) අත්සන් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදු කිරීමටත්  ගිවිසුමක් කෙටුම්පත් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීමටත් එකඟතාවයකට පැමිණුනා.

     

    ඊට අදාළ ගිවිසුම කෙටුම්පත් කිරීම සම්බන්ධව මේ වන විට සාකච්ඡා අරඹා ඇති අතර එහි වගකීම දරන්නේ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයයි.   මලික් සමරවික්‍රම අමාත්‍යතුමා මේ සම්බන්ධව මූලික සාකච්ඡාවන් පවත්වනු ලැබුවා.

     

    ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් කමිටු අනුමැතිය මත සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති කමිටුවක් මඟින් මෙම ගිවිසුම සම්බන්ධව ඉන්දීය රජය සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබන අතර එම කටයුතු ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් කමිටුව මඟින් අධීක්‍ෂණය කර කැබිනට් මණ්ඩලය වෙත වාර්තා කරනවා.

     

    එසේම  මේ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. මෙම ගිවිසුම සම්බන්ධ අදහස් ලබා ගැනීම සඳහා දැනටමත් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය විසින් වාණිජ මණ්ඩල හා වෘත්තීයවේදීන්ගේ සංවිධාන සමඟ සාකච්ඡා වට ගණනාවක් මෙන්ම මාධ්‍ය හමු කිහිපයක් ද පවත්වා තිබෙනවා.

     

    ගිවිසුම කෙටුම්පත් කිරීමේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව කැබිනට් අනුමැතිය ලද පසු එම ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සංවර්ධන උපාමාර්ග හා ජාත්‍යන්තර
    වෙළඳ අමාත්‍යතුමා විසින් අත්සන් තබනු ඇත. ඒ වගේමල මේ සම්බන්ධව ඉදිරියේදී පාර්ලිමේන්තුව දැනුවත් කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.

    පසුගිය රජය GSP+බදු සහනය නැති කර ගත්තා. රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් අහිමි කර ගත්තා. අපි දැන් GSP+ බදු සහනය ආපසු ලබා ගන්න කටයුතු කරමින් සිටිනවා. එසේම අප රජය චීනය,  සිංගප්පූරුව, මැලේසියාව, ජපානය හා ඉන්දුනීසියාව වැනි මිත්‍ර රටවල් සමගත් ආර්ථික හා වෙළඳ සහයෝගීතා ගිවිසුම් වලට ඇතුළත් වෙන්න අපේක්‍ෂා කරන බව මම කියන්න කැමතියි.

     

    ඒ ගිවිසුම් ඔස්සේ අපි ඒ ඒ රටවල වෙළඳ පොළ සඳහා අපේ නිෂ්පාදන යොමු කරනවා. අපි අපේ වෙළඳ පොළ පුළුල් කර ගත යුතුයි. මේ ගිවිසුම් ඔස්සේ ඊට ඉඩකඩ සැලසෙනවා විතරක් නෙවෙයි, අපේ රටේ තරුණ තරුණියන් ලක්‍ෂ ගණනකට අලූතෙන් රැකියා අවස්ථා සැලසෙනවා.

     

    අපි මේ සහයෝගීතා ගිවිසුම් අත්සන් කරන්නේ අප රටේ අහිංසක තරුණ තරුණියන්ට රැකී රක්ෂා ලබා දෙන්න. ඔවුන්ට ආත්ම ගරුත්වයක් ඇතිව සතුටින් ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් ඇති කරන්න. රැකියා දස ලක්ෂයක් ලබා දෙන බවට අපි දුන් පොරොන්දුව ඉටු කරන්න තමයි අප මේකටයුතු කරමින් සිටින්නේ.

    මේ සියල්ල තුලින් මහනුවර - කොළඹ - හම්බන්තොට කලාපය, මුම්බායි - දිල්ලි ආර්ථික කලාපයට සමාන ආර්ථික කලාපයක් ලෙස සංවර්ධනය කර දකුණු ඉන්දීය ආර්ථිකයට පවා බලපෑමක් එල්ල කල හැකි ආර්ථික කලාපයක් ගොඩ නැංවීම අපගේ අපේක්‍ෂාව බව අවසන් වශයෙන් සඳහන් කර සිටිනවා.

    අපි මේ සඳහා යටිතල පහසුකම් සපයනවා. මහනුවර, කොළඹ සහ හම්බන්තොට කියලා, විශාල තීරුවක් තිබෙනවා දියුණු කිරීමට. මහනුවර, කුරුණෑගල, කුලියාපිටිය, හලාවත විශාල සංචාරක ව්‍යාපාර ආරම්භ කරන්න ,කර්මාන්ත ඇති කරන්න යනවා. හම්බන්තොට තවත් විශාල ව්‍යාපෘතියක් අරඹනවා.මේ සියල්ල ම අවශ්‍යයි මේ රට දියුණු කරන්න. අපි දැන් සාකච්ඡා කරනවා ත්‍රීකුණාමලයේ සංවර්ධන කටයුතු පිළිබඳව. ජනාධිපතිතුමා පොළොන්නරුවේ කටයුතු කරගෙන යනවා.

    අපිට මිනිස්සුන්ට උඩ බලාගෙන ඉන්න, වරායක්, ගුවන්තොටුපලක් හදන්න අවශ්‍ය නෑ. අපිට අවශ්‍ය මේ රටේ තරුණ තරුණියන්ට රැකියා ලබාදෙන්නයි. යාපනයත් යළි ප්‍රතිසංස්කරණය කරන්න කටයුතු කරනවා.

    ඕනෑම කෙනෙකුට ආයෝජනය කරන්න පුළුවන්. ඉන්දියාවේ අයට ඇවිත් වැඩකරන්න බෑ. මේ රටේ තරුණ තරුණියන්ට රැකියා ලබාදෙනවාට විරුද්ධද? දැයි පැනය නැඟූ මන්ත්‍රී  ජයන්ත සමරවීර මහතාගෙන් අග්‍රාමාත්‍යවරයා විමසා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya