ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකිණීමට රජයේ ප‍්‍රතිපත්තිය නොවේ

    අගෝස්තු 11, 2016
    රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකුණා දැමීමට රජය සූදානම් වන බවට නොයෙකුත් මත පළ වුවද රාජ්‍ය ආයතන විකුණා දැමීම තම රජයේ ප‍්‍රතිපත්තිය නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.
     
    පාඩු ලබන රාජ්‍ය ආයතන වේ නම් ඒවායේ ආදායම් වර්ධනය කරමින් ලාභ ලබන තත්ත්වයට ගෙන ඒම සඳහා ගත යුතු තීන්දු තීරණ ගන්නා අතරම ඇතැම් විට ඒ පිළිබඳ පෞද්ගලික අංශය සමඟ සහයෝගයෙන් කටයුතු කළද කිසිවිටෙකත් එම ආයතන පෞද්ගලික අංශයට විකුණා නොදමන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ CFS 1 බහළුගත නැව් බඩු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ  (10) එක් වෙමිනි.
     
    ජාතික ආර්ථිකයේ හදවත බදු කොළඹ වරාය රටේ ආර්ථික වර්ධනයට ලබා දෙන ඉහළ දායකත්වය මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ වරාය තව තවත් සංවර්ධනය කිරීමට රජයෙන් ලබාදිය යුතු සෑම දායකත්වයක්ම ලබා දෙන බවයි.
     
    කොළඹ වරාය පාඩු ලබන ආයතනයක් නොවුවද එයින් ලැබෙන ආදායම පුර්ණ වශයෙන්ම හම්බන්තොට වරායේ ණය ගෙවීම සඳහා යෙදවීමට සිදුවීම එහි සංවර්ධනයට බාධාවක් වී ඇති බවද ජනාධිපතිතුමා පැවසීය.
     
    රුපියල් කෝටි නව ලක්ෂයක ණය බර අද රටේ දියුණුවට බාධාවක් වුවත් අපගේ දේශීය කර්මාන්තයන් සහ අපනයනයන් වැඩිදියුණු කර රටේ ආර්ථික වර්ධනය ඉහළ නංවමින් රට දියුණු කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.
     
    වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සේවය ද මෙහිදී අගය කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ 2014 නොවැම්බර් 21දා තමා පැවති රජයෙන් ඉවත්වී පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ සිට එතුමා තමා සමග එක්ව රටට අවශ්‍ය නව පරිවර්තනය උදා කර දීම සඳහා උර දෙමින් සිටින බවයි.
     
    ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ අභිමානවත් 37 වන සංවත්සරයට සමගාමීව නැවත ගොඩනගන ලද බහළුගත නැව් බඩු මධ්‍යස්ථානය මෙලෙස විවෘත කෙරිණි.
     
    ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ සේවා දායකත්වයන් වෙත ප‍්‍රශස්ත සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම බහලූ මෙහෙයුම් මධ්‍යස්ථානයේ පහසුකම් පුළුල් කිරීමට පියවර ගෙන ඇති අතර වර්ග මීටර් 5400 ක ප‍්‍රමාණත්වයකින් යුතු මෙම බහලූ මධ්‍යස්ථානය නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින් ඉදි කර තිබේ.
     
    වරාය අධිකාරිය වෙත පැමිණි ජනාධිපතිතුමා වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් මහත් හරසරින් යුතුව පිළිගත් අතර ජනාධිපතිතුමා විසින් සමරු ඵලකය නිරාවණය කර නව බහළු මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කළේය.
     
    ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ නව වෙබ් අඩවිය විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    වකුගඩු රෝගින් සඳහා වු ජනාධිපති අරමුදල සඳහා රුපියල් ලක්ෂ 25ක පරිත්‍යාගයක් සිදු කිරීමද මෙහිදී සිදු වූ අතර වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
     
    නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහත්වරු ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya