ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායයන් පෞද්ගලීකරණය කිරීමට තීරණයක් ගෙන නෑ

    සැප්තැම්බර් 07, 2016

    ණයබර ජනතාව මත පැටවීමේ හැකියාවක් නොමැති බවත් ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායයන් පෞද්ගලීකරණය කිරීමට රජය කිසිදු ලෙසකින්වත් තීරණයක් ගෙන නොමැති බවත්  විශාල ලෙස පාඩු ලබන ව්‍යවසායයන් විධිමත් පරිදි ප්‍රතිව්‍යූහගත කිරීමට අප රජය අදහස් කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේ දී අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයක් අග්‍රාමාත්‍යවරයා වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් යොමු කර තිබුණි.

     

    එහිදී තවදුරටත් පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා, මෙයට ප්‍රධානම හේතුව වන්නේ විශාල වශයෙන් ණය වී ඇති හා පරිපාලනය කඩා වැටී ඇති ව්‍යවසායයන් තවදුරටත් ඒ අකාරයෙන් පවත්වාගෙන යා නොහැකි වීමයි.


    2016 වසරේ අයවැය ලේඛනය සකස් කරද්දීත් රාජ්‍ය ව්‍යවසායන් ලබා ගෙන තිබූ ණය පිළිබඳ නිශ්චිත තොරතුරු වාර්තා වී තිබුනේ නැහැ. පසුගිය රජය විසින් රාජ්‍ය ව්‍යවසායයන් විසින් ලබාගත් ණය ජාතික ණය පද්ධතියට ඇතුළත් කර තිබුනේ නැහැ. දැනට වාර්තා වන අන්දමට ජාතික ණය පද්ධතියට ඇතුළත් කර නැති රාජ්‍ය ව්‍යවසායයන් විසින් ගෙවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 1358 ක්.

     

    ඛණිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 424 ක්. වරාය අධිකාරිය බිලියන 240 ක්. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් බිලියන 308 ක්. ලංකා විදුලිබල මණ්ඩලය බිලියන 237 ක්. මේ වගේ ඉතා දිග ලැයිස්තුවක් තිබෙනවා.

    අප රට දැවැන්ත ණය උගුලකට අසුව තිබෙන මෙවැනි අවස්ථාවක එම ණය බර තවදුරටත් ජනතාව මත පැටවීමට අපට හැකියාවක් නැහැ. එම නිසා විශාල වශයෙන් ණය වී ඇති පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් විධිමත් පරිදි ප්‍රතිව්‍යූහගත කළ යුතුයි.


    එම ව්‍යවසායයන් වලින් නිසි ප්‍රයෝජන ලැබිය හැකකේත්, එම ආයතනවල සේවය කරන සේවකයින්ගේ රැකියා සුරක්‍ෂිත කළ හැක්කේත් එවැනි ප්‍රතිව්‍යූහගත කිරීමකින් පමණයි. එම ආයතන දරණු ලබන පාඩුව අවම කොට රජයට හා ජනතාවට බරක් නොවී ජාතික අයවැයට හා ආර්ථිකයට ධනාත්මක දායකත්වයක්ලබාදීමට හැකිවන්නේ එවිටයි.

     

    මෙම ප්‍රතිව්‍යූහගත වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී ඒ ඒ ආයතන සඳහා වඩාත්ම ගැලපෙන ක්‍රමවේද අනුගමනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මේ සඳහා රාජ්‍ය - පෞද්ගලික ඒකාබද්ධ ක්‍රමවේදය   ද ඉතා සුදුසු ක්‍රමවේදයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

    කෙසේ වුවත් මෙම සියළු ක්‍රමවේද ක්‍රියාත්මක කරනු ලබන්නේ රජයට උපරිම වාසි සැලසෙන අයුරින් විවෘත හා විනිවිද පෙනෙන ක්‍රියාවලියක් හරහා පමණක් බවත්, එම ආයතනවල සේවකයින්ගේ රැකියා සුරක්‍ෂිත වන අන්දමට බවත්, අවධාරණය කර සිටීමට කැමතියි.  ඒ වගේම මීට පෙර පෞද්ගලීකරණය කර ඇති ආයතනද අවස්ථානූකුලව අවශ්‍යතාවයක් පැන නැඟුනහොත් ඒ අනුව නිසි ඇගයීම් ක්‍රියාවලියකට භාජනය කර අවශ්‍ය තීරණ ගැනීමට පුළුවන් යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya