ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    දුම්කොළ සහ දුම්වැටිවලට එරෙහි ප‍්‍රඥප්තියට අත්සන් තැබූ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව

    ඔක්තෝබර් 31, 2016

    දුම්කොළ සහ දුම්වැටිවලට එරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රඥප්තියට අත්සන් තැබූ ආසියාවේ පළමු රට සහ ලොව සිව්වන රට වන ශී‍්‍ර ලංකාව අද දුම්කොළ සහ දුම්වැටි නිවාරණය වෙනුවෙන් ප‍්‍රමුඛ කාර්යයක් ඉටු කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    දුම්කොළ, මද්‍යසාර හා අනෙකුත් මත්ද්‍රව්‍යයන්ගේ අයහපත් බලපෑම්වලින් තොර වූ ජීවිතයක් සියලු ශී‍්‍ර ලාංකිකයින්ට උදා කර දීමට වත්මන් රජය කැපව සිටින බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    මහනුවර මහවැලි රීච් හෝටලයේදී ආරම්භ කෙරුණු මද්‍යසාර, දුම්කොළ ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය වැළැක්වීම සම්බන්ධ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයේ සමාරම්භක අවස්ථාව අමතමින් ජනාධිපතිතුමා අද (31) මේ බව සඳහන් කළේය.

    21 වන සියවසේ මත්ද්‍රව්‍ය නිවාරණ හා ප‍්‍රතිපත්ති සම්පාදනය අරමුණු කොට ගෙන පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් 23 ක් නියෝජනය කරමින් සාමාජිකයන් 93 දෙනෙකු පමණ එක්ව සිටිති.

    ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය හා දුම්වැටි නිවාරණ වැඩසටහන, මද්‍යසාර සහ දුම්කොළ පිළිබඳ ජාතික අධිකාරිය, මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරනු ලබන මෙම සම්මන්ත‍්‍රණය අද සිට නොවැම්බර් 04 වනදා දක්වා පැවැත්වේ.

    මීට සමගාමීව පැවැත්වෙන තරුණ වැඩමුළුව සඳහා දේශීය හා විදේශීය කණ්ඩායම් සහභාගී වන අතර ඒ හරහා නව අදහස් සම්පාදනය, නායකත්ව පුහුණුව ඉහළ නැංවීම අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සිදු කෙරේ.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ තමා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී මද්‍යසාර, දුම්වැටි හා අනෙකුත් මත්ද්‍රව්‍යයන්ගෙන් සමාජයට ඇතිවන අයහපත් බලපෑම මර්දනයට ප‍්‍රතිපත්ති හා නීති රෙගුලාසි සම්පාදනයේ අවශ්‍යතාවය මැනවින් වටහාගෙන සිටි බවයි.

    මත්ද්‍රව්‍ය උවදුර සමාජයෙන් තුරන්කරලීමට තමන් ජනාධිපති ධූරයට පත් වූ වහාම විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් ද ස්ථාපිත කළ බව පැවසූ ජනාධිපතිතුමා එම කටයුතු සමඟ තමා පෞද්ගලිකවම ද සම්බන්ධ වී සිටින බව කියා සිටියේය.

    දුම්වැටි ඇසුරුමෙහි 80‍% ක රූපමය අනතුරු ඇඟවීමක් යෙදීමට රජයට හැකිවීම පිළිබදව මෙහිදී සිය සතුට පළ කළ ජනාධිපතිතුමා මෑතකදී දුම්වැටි සඳහා වන බද්ද ඉහළ නැංවීමට ද රජය කටයුතු කළ බවත් එය දුම්වැටි භාවිතය අධෛර්යවත් කිරීමට යෙදිය හැකි වඩාත් ඵලදායී කි‍්‍රයාමාර්ගයක් බවත් කියා සිටියේය.

    අද ආරම්භ කෙරන මෙම සමුළුව මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වඩාත් ඵලදායී හා කාර්යක්ෂම ප‍්‍රතිපත්ති නිර්මාණයට නව කතිකාවක් ගොඩනැඟීමට මඟ පාදනු ඇති බවද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

    මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මද්‍යසාර සහ දුම්කොළ පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන්, මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය හා දුම්වැටි නිවාරණ වැඩසටහනේ සභාපති කි‍්‍රස්ටිනා ස්පැරකෝවා, විධායක අධ්‍යක්ෂක එස්බියොන් හොන්බර්ග්, මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ සභාපති මහේෂ් රාජසූරිය, විධායක අධ්‍යක්ෂ පුබුදු සුමනසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya