ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    වසර 26 ක් යාපනය අවතැන් කඳවුරුවල සිටි පවුල් 100 කට හිසට සෙවණක්

    ඔක්තෝබර් 31, 2016

    සියලු ජන කොටස්වලට පිළිගත හැකි මෙන්ම ජාතික සංහිඳියාව ශක්තිමත් කෙරෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට රජය කැපවි සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    නිවාස 100 කින් සමන්විත කංකසන්තුරේ, කීරමලේ, නැල්ලිනක්කපුරම් ගම්මානය ජනතා අයිතියට පවරාදීමේ උත්සවයට අද (31) පස්වරුවේ එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදයේ භීෂණය හමුවේ අවතැන්ව යාපනය සුබසාධන මධ්‍යස්ථාන 31 ක වෙසෙන පවුල් 971 ක් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මෙම නිවාස 100 කින් සමන්විත ව්‍යාපෘතිය ඉදිකර තිබෙන අතර ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ අධීක්ෂණය යටතේ 5 වන ඉංජිනේරු සේවා රෙජමේන්තුව විසින් මේ සඳහා ශ‍්‍රම දායකත්වය, තාක්ෂණික සහය සහ විශේෂඥ දැනුම ලබාදී තිබේ.

    උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රට තුළ ජාතික සංහිඳි්යාව ශක්තිමත් කිරීමට සෑම කෙනෙක්ම කැපවිය යුතු අතර එය කිසිසේත් අඩු වටිනාකමක් ලබාදිය හැකි හෝ අඩුවෙන් තක්සේරු කළ හැකි දෙයක් නොවන බවයි.

    ජාතින් අතර ඇතිවූ ගැටුම් අවසානයේ කුරිරු යුද්ධයක් බවට පත්ව රටට මහා විනාශයක් සිදු කළ අතීතය ද සිහිපත් කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ නැවත රට තුළ යුද්ධයක් ඇති නොවීමට සෑම කෙනෙක්ම වගකීමෙන් කටයුතු කළයුතු බවයි.

    පසුගියදා යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මිය යාමේ සිදුවීම පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ උතුරේ හෝ දකුණේ යළිත් එවැනි සිදුවීම් ඇති නොවීමට සියලූදෙනා වගකීමෙන් කටයුතු කළයුතු බවයි.

    රට තුළ සාමය ස්ථාපිත වන අයුරින් කටයුතු කිරීම සියලූ මාධ්‍ය ආයතනවල වගකීමක් බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් එක් නිවසක් විවෘත කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    නිවාසලාභීන් විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වූ අතර තමන්ට දුන් පොරොන්දු ඉටුකරමින් මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකරදීම පිළිබඳ ජනාධිපතිතුමා වෙත කෘතවේදිත්වය පළ කරමින් එහි විශේෂ සටහනක් ද තබා තිබුණි.

    මයිලඞ් ප‍්‍රදේශයේ ආරක්ෂක හමුදාවන් යටතේ පැවති ඉඩම් අක්කර 454 ක් නැවත එහි මුල් පදිංචිකරවන් වෙත පවරාදිමේ ලිපි අදාළ දිස්ති‍්‍රක් ලේකම්වරයා වෙත භාරදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    අමාත්‍ය ඞී.එම්. ස්වානාදන්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, රාජ්‍ය ඇමතිනි විජයකලා මහේ්ෂ්වරුන්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්වන අංගජන් රාමනාදන්, මාවෙයි සේනාධිරාජා යන් මහත්ම මහත්මීන් ඇතුළු උතුරු පළාත් සභාවේ දේශපාලන නියෝජිතයින් රසක් ද ති‍්‍රවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya