ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    ක්ෂේත්‍ර රැසකින් තායිලන්තයට විශාල දියුණුවක්

    දෙසැම්බර් 14, 2016
    කෘෂිකර්මය, සංචාරක කර්මාන්තය, ධිවර කර්මාන්තය ආදි ක්ෂේත්‍රවලින් තායිලන්තය විශාල දියුණුවක් අත්කරගෙන තිබෙන බවත් ථෙරවාදි බුදු දහම පවතින රටක් ලෙස තායිලන්තය දියුණුව අත්කරගත් මාර්ගයේ ගොස් දියුණුව ළඟා කර ගැනීමට අපත් අධිෂ්ඨාන කරගත යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා කොටහේන දීපදුත්තාරාම විහාරස්ථානයේ පැවති අභාවප්‍රාප්ත තායිලන්ත රජතුමන්ට පිං පැමිණවීමේ උත්සවයට සහභාගි වෙමිනි.
     
    එමෙන්ම එම යුගයේ දී ශ්‍රී ලංකාව සමග ඇති සබඳතාවය තවත් ලං වූ බවත් ලංකාව සමඟ තායිලන්තය මේ අයුරින් සම්බන්ධ කිරීම සම්බන්ධව භුමිබෝල් රජතුමාට ස්තුතිවන්ත විය යුතු බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා දෙවන ලෝක යුද්ධයෙන් පසුව නොදියුණු තායිලන්තය දියුණු ආර්ථිකයක් බවට පත්වූයේ භුමිබෝල් රජතුමන්ගේ සමයේ දි බවත් පෙන්වා දුන්නේය.
     
    "කොටහේන දීප දුත්තාරාමය ලංකාවේ සහ තායිලන්තයේ බුදු දහම අතර ඇති සංකේතයක් බව කිව යුතුයි. තායිලන්ත අතීත රජවරුන් මෙම විහාරස්ථානයට පැමිණ ඒ සබඳතාවය තහවුරු කර තිබෙනවා. තායිලන්තයේ භුමිබෝල් රජතුමන්ගේ අභාවය වෙනුවෙන් මතක වස්ත්‍ර පූජා කිරීමට අද මෙම පිංකම සංවිධාන කර තිබෙනවා. මතක වස්ත්‍ර පූජාව අපටත් තායිලන්තයටත් පොදු වු සිරිතක් බව මෙහිදී සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකාව මෙන් ම තායිලන්තයත් ථෙරවාදී බුදුදහම හෙවත් තෙරුන් වහන්සේලාගේ දහම ආරක්ෂා කිරීම නිසා එවැනි පොදු සිරිත් ආරක්ෂා වී පවතිනවා" යැයි ද පැවසීය.
     
    "පළමුවෙන් ම ථෙරවාදී බුදු දහම ආරක්ෂා වුණේ සියමයේයි. ඊට පසුව රාමඤ්ඤ සහ අමරපුර නිකායන් ආරම්භ කිරීමට බුරුමයේ සහයෝගය ලැබුණා. ඒ අනුව අග්නිදිග ආසියාව සහ අප අතර සම්බන්ධය තහවුරු වී තිබෙනවා. එලෙස තහවුරු වූ සම්බන්ධය අවසන් පුරුක වුයේ  තායිලන්තයේ අභාවප්‍රාප්ත භුමිබෝල් රජතුමායි. ශ්‍රී ලංකාව ජනරජයක් ලෙස පාලනය ගෙන යනවා. තායිලන්ත රාජධානියේ සංකේතයක් ලෙස රජ පරපුර තවමත් සිටිනවා". 
     
    තායිලන්තය මෙන් ම අපත් ථෙරවාදි බුදුදහම අනුගමනය කරන හෙයින් මරණය නියත බව හොදින්ම දන්නා බවත් භූමිබෝල් රජතුමා කළ සේවයට ස්තුති කොට එතුමන්ට නිවන් සැප ප්‍රාර්ථනා කරන බවත් පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ බෞද්ධයන් පමණක් නොව සියලු ම ලාංකිකයන් වන හින්දු, මුස්ලිම් ක්‍රිස්තියානි සියලු දෙනා වෙනුවෙන් අප එම ප්‍රාර්ථනා කරන බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
      

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya