ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    සීමාවකින් තොරව අධ්‍යාපනය ලබාගැනීමේ අයිතිය තහවුරු කිරීම රජයේ වගකීමක් - අධිකරණය ස්වාධීනව තීන්දුවක් දුන්නා

    පෙබරවාරි 09, 2017

     සීමාවකින් තොරව අධ්‍යාපනය ලබාගැනීම සඳහා ජනතාවට ඇති අයිතිය තහවුරු කිරීම රජයේ වගකීමක් වෙනවා.වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ප්‍රශ්නය ද අධිකරණයට ගියා.අධිකරණය ස්වාධීනව තීන්දුවක් දුන්නා යැයි අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝගය විවාදයට  ගත් අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

     

    එදා සේනක බිබිලේ මහතා ඖෂධ ප්‍රතිපත්තියක් රටට හඳුන්වා දෙන්න උත්සාහ කළා. එය සූරා කෑමෙන් මුදා ගන්නා ක්‍රමවේදයක් වුණා. සෑම දේශපාලන පක්ෂයක්ම තමන්ගේ ඡන්දය ගන්න සේනක බිබිලේ ප්‍රතිපත්තිය විකිණුවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දැක්වූවා. ඒ මහතා මේ පිළිබඳව නිරන්තරයෙන් අධිකරණයට පවා ගොස් ජනතාවට සහන දෙන්න සටන් කළා. 2015 ජනවාරි ජනාධිපතිවරණයට පෙර මේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවට පැවසුවා. දැන් එහි වගකීම රාජිත සේනාරත්න මහතා අරගෙන තිබෙනවා. ඒ නිසා අද මේ රටේ රෝගීන්ට එහි ප්‍රතිලාභ ලැබෙනවා.

     

    බිලියන ගනන් මුදලක් රටේ ජනතාවට ඉතිරි කර ගන්නට හැකි ලෙස මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබී තිබෙනවා. රටේ ජනතාවට සෙතක් තිබෙනවා නම් එය වාර්තා කිරීම මාධ්‍යයට එතරම් ගුණදායක දෙයක් වන්නේ නැහැ. ඖෂධවල ගුණාත්මක බව සම්බන්ධයෙන් රජය නිරන්තරයෙන් කටයුතු කරනවා. අද වෛද්‍ය සේවයේ ගුණාත්මක බව පිළිබඳ කතා කරනවා. ජේ.ආර් ජයවර්ධන මහතාගේ කාලයේ අනෙකුත් ක්ෂේත්‍ර වඟේම වෛද්‍ය ක්ෂේත්‍රය ද පුද්ගලික අංශයෙන් ලබාගත යුතු බවට කල්පනා කළා. එදා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ලෙස ආරම්භ කළ රාගම වෛද්‍ය පීඨයෙන් බිහිවූ වෛද්‍යවරු මේ රටේ ඉහළම ස්ථානවල ඉන්නවා. සයිටම් ආරම්භ කිරීමත් සමඟ යළිත් කරළියට පැමිණ තිබෙනවා.

     

    මේ විශ්ව විද්‍යාලය ආරම්භ කරන කාලයේ කටයුතු කළේ පසුගිය රජයයි. මෙහි ළමයි අරගෙන, පීඨ හදලා සියලු කටයුතු කොට වසර 4ක් ගිය පසු ප්‍රශ්නයක් මතුව තිබෙනවා. වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මෙය වසා දැමිය යුතු බවට ප්‍රකාශ කරනවා. අපේ රටේ අධ්‍යාපන අද නීති, ඉංජිනේරු උපාධි දෙන අනුබද්ධ ආවතන තිබෙනවා. මේ සයිටම් ආයතනයේ ගුණාත්මක බව සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා. රජයේ වෛද්‍යවලත් ඒ ගුණාත්මක බව තිබෙනවා ද යන්න ඔවුන් සිතා බැලීමේ යුතුකමක් තිබෙනවා. නමුත් ඒ වෛද්‍යවරුන්ට පෞද්ගලික රෝහල්වලින් ධනය උපයා ගැනීම හොඳයි. නමුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක සිසුන් බිහිකිරීම වැරැදියි. නමුත් අද මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටියා නම් එම වෛද්‍ය සංගම සුවචකීකරු ලෙස ඉන්නවා. දැන් යහපාලනයේ නිදහස දෝරේ ගලන විට ඔවුන් විරුද්ධව කටයුතු කරනවා.

     

    මේ රටේ රජයේ වෛද්‍ය විද්‍යාලවල අඩුපාඩු නැද්ද. ඒ සම්බන්ධයෙන් ද කටයුතු කළයුතු වෙනවා. වෛද්‍ය වෘත්තියේ දෙවිවරු වඟේම දෙවියන්ට වඩා හොඳ අයද ඉන්නවා. නමුත් වෛද්‍ය සංගමය බහුතරය නොවේ. ඔවුන්ට කරගත හැකි දෙයක් නැහැ. සයිටම් එක අධ්‍යාපන කඩයක් බවට ඔවුන් අර්ථ දක්වනවා. මෙහි උගන්වන්න එන්නේ මරියකඩේ හෝ පිටකොටුවේ සිල්ලර වෙළෙන්දන් නොවේ. උගන්වන්නේ ඔය කියන වෛද්‍ය සංගමේ සාමාජිකයන් ලෙස ඉන්න අයයි. මේ රටේ වෛද්‍ය සංගමයේ සාමාජිකයන්ගේ දූ දරුවන්ද මෙහි ඉගෙන ගන්නවා. මේ සිසුන්ට මේ ආයතනය නොතිබුණා නම් වෙනත් රටකට යනවා. පසුගිය කාලයේ අපේ රටේ සෞඛ්‍යය ප්‍රමිතය ඉහළ මට්ටමක තිබුණා. අද ලක්ෂයට වඩා උසස් පෙළ සමත්වූ පසු 25000ක් පමණ විශ්ව විද්‍යාල යනවා. අනෙක් ළමුන් අනාථයි.

     

    ජාත්‍යන්තර පාසල් වල 50000ක් පමණ ඉගෙන ගන්නවා. ඔවුන් කල්ලතෝනි නොවේ. ඒ අපේ දරුවන්. ඔවුන් විදේශවලට ගොස් උපාධි කරනවා. විදේශවලට ගොස් වෛද්‍ය උපාධියක් ගන්න ලක්ෂ 400ක් 500ක් යනවා. මේ සයිටම් ආයතනයේ ඉගෙන ගැනීම තුළ විශාල විදේශ විනිමයක් ඉතුරු වෙනවා. සීමාවකින් තොර අධ්‍යාපනය ලබාගැනීම සඳහා ජනතාවට ඇති අයිතිය තහවුරු කිරීම රජයේ වගකීමක් වෙනවා. නමුත් එය කිසිඳු රජයකින් ඉටුවී නැහැ. වෛද්‍යවරයෙකු වන්න හැකියාවක් තිබෙන අයෙකු ත්‍රී රෝද රථ රියැදුරෙකු බවට පත් කරන්නේ ඔහුගේ වරදින් ද. වෛද්‍යවරුන්ගේ විශාල පිරිහීමක් තිබෙනවා. වෛද්‍යවරුන් විසින් ඒ අයගේ ගුණාත්මක බව තහවුරු කරගන්න අවශ්‍ය වෙනවා.

     

    වෛද්‍ය වෘත්තිය අද විශාල වශයෙන් පහත වැටී තිබෙනවා. පෞද්ගලික රෝහලට ගියපසු පැය තුනට වෛද්‍යවරයා 100 දෙනෙකු රෝගීන්ට ප්‍රතිකාර කරනවා. නීතීඥයන් ලෙස අපිත් අරගල කර තිබෙනවා. නමුත් අපි වරප්‍රසාද වෙනුවෙන් අරඟල කර නැහැ. අපි මේ රටේ අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කර තිබෙනවා. නීතියට ගරු නොකරන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ඔවුන්ගේ සංගමය ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද. නීතියේ ආධිපත්‍ය දෙන ලෙස මේ රටේ ජනතාව ඉල්ලුවා. අපි ඒ පරිසරය නිර්මාණය කර තිබෙනවා. මේ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ප්‍රශ්නය ද අධිකරණයට ගියා. අධිකරණය ස්වාධීනව තීන්දුවක් දුන්නා. ඒ තීන්දුව දුන් පසු අපි එය පිළිගන්නේ නැහැ කියනවා. කවුද අද මේ උද්ඝෝෂණ කරන්නේ.

     

    ගමේ අහිංසක දරුවන් මේ සඳහා අල්ලාගෙන ඉන්නවා. කරුණ මොකක්ද යන්නත් නොදැන උද්ඝෝෂණවලට එනවා. ඒ දරුවන් හැමදාම මහ පාරේ. විශ්ව විද්‍යාල උපාධිය සඳහා දැන් වසර 6ක් පමණ යනවා. අද යමක් කමක් තිබෙන දෙමාපියෝ තම දරුවන් විශ්ව විද්‍යාලයට යවන්නේ නැහැ. අද රැකියා පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් ඒ සඳහා තරුණයන්ට සුදුසුකම් නැහැ. සයිටම් ආයතනයේ අඩුපාඩු තිබෙන්න පුළුවන්. රජයේ පීඨවල ද අඩුපාඩු තිබෙනවා. ඒවා සම්බන්ධයෙන් කිසිවෙක් කතා කරන්නේ නැහැ. පසුගිය රජය විසින් මේ සයිටම් ආයතනය ආරම්භ කළා. අද ඒ අයද මේකට විරුද්ධ වී සිටිනවා යැයි අද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya