ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    මාදුරු ඔය දකුණු ඉවුරේ සංවර්ධන කටයුතු මෙම වසරේ ආරම්භ කරනවා- ජනපති

    මැයි 16, 2017

    රටේ වාරි සහ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ සංවර්ධනය උදෙසා දැවැන්ත ව්‍යාපෘති රැසක් රජය මේ වන විට ක්‍රියාවට නංවා තිබෙන බවත් තවත් විශාල වාරි ව්‍යාපෘතියක් වූ මාදුරුඔය දකුණු ඉවුරේ සංවර්ධන කටයුතු මෙම වසරේදී ආරම්භ කරන බවත් ජනාධිපති මෛත්‍රීපා සිරිසේන  මැතිතුමා පැවසීය.

    එමෙන්ම අනුරාධපුර, පොලොන්නරුව කුරුණෑගල සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල පැරණි වැව් 600 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ද ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මෙම වසරේදී ක්‍රියාවට නංවන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ඊයේ (15) අරලගංවිල විලයාය මහා විද්‍යාලයේ පැවති මහවැලි ඉඩම් ඔප්පු ලක්ෂයක් පිරිනැමීමේ සහ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන අමතමිනි.

    රජ රට ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වූ මොරගහකන්ද ව්‍යාපෘතිය තුළින් එම ජනතාවගේ ජල ගැටලුවට අද විසඳුම් ලැබෙමින් පවතින බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඉදිරි මහ කන්නයේ දී ජලාශය සම්පූර්ණයෙන් ජලයෙන් පිරවීමෙන් පසු යළිත් ජල අර්බුදයකට මුහුණ දීමට රජ රට ජනතාවට සිදු නොවනු ඇති බව ද කියා සිටියේය.

    පසුගිය රජය සංදර්ශනාත්මක සංවර්ධනයක් රටට පෙන්වා මහා සංවර්ධනයක් ගැන කථා කළද ඒ තුළ තිබූ ණය බර අද රටක් ලෙස ඉදිරියට යාමේදී මතුව ඇති බරපතළම ගැටලුවක් බවට පත්ව ඇති බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

    විදේශීය ණය බරින් රට නිදහස් කර ගනිමින්, රට සංවර්ධනය කරා ගෙනයාමට අද රජය පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවා ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා කුමන අභියෝග හමුවේ වුවද එම වැඩපිළිවෙළ ශක්තිමත්ව සහ වේගවත්ව ඉදිරියට ගෙන යමින් ජනතාවට අවශ්‍ය ආර්ථික සංවර්ධනය උදා කර දෙන බව ද කියා සිටියේය.

    ආණ්ඩුව දුර්වල බව පවසමින් ආණ්ඩු පිහිටුවීමට අද ඇතැමුන් සිහින දකිමින් සිටින බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා පසුගියදා ගෝල්ෆේස් පිටියේ පැවති මැයි දින රැළියෙන් පසු ආණ්ඩු පිහිටුවීමට ඇතැමුන් සිහින දුටුවත්, පිට්ටනියකට බස්වලින් ගෙන ආ ජනතාව අනුව ආණ්ඩු හැදීමට සිහින දකිනවා නම් එය විහිළුවට කරුණක් බව ද කියා සිටියේය.

    ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණෙන විට කළු කොඩි ඔසවන්නැයි පැවසූ ඇතැමුන් මහා රාති‍්‍රයේ ගොස් එතුමා හමු වූ බව තමාට දැන ගන්නට ලැබුණු බව ද ජනාධිපතිතුමා පැවසීය.

    මහවැලි ජනපදිකයින්ගේ උපන් බිමේ උරුමය තහවුරු කරමින් ඉඩම් ඔප්පු ලක්ෂයක් පිරිනැමීමේ වැඩසටහන යටතේ මහවැලි බී සහ සී කලාපවල ජනපදිකයින්ට ඉඩම් ඔප්පු දස දහසක් ප‍්‍රදානය කිරීම අද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    2017 ජිවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් ආවරණය කරමින් ජීවනෝපාය මාර්ග සංවර්ධන වැඩසටහන් සඳහා අවශ්‍ය උපකරණ බෙදා දීමද මෙහිදී සිදු කෙරිණි.

    පාසල් සහ විහාරස්ථාන සඳහා ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පෙරණ පද්ධති සහ ජල ටැංකි බෙදාදීම ද සිදු කෙරිණි.

    මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ, අමාත්‍ය දයා ගමගේ, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, නියෝජ්‍ය ඇමතිනි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, හිටපු අමාත්‍ය පී. දයාරත්න, උතුරු මැද පළාත් සභාවේ සම්පත් ශී‍්‍ර නිශ්ශංක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් ඇතුළු රාජ්‍ය නිළධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya