ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් ජනතාව සමඟ අත්වැල් බැඳගතයුතුයි - ජනපති

    ජූනි 21, 2017

    කැළි කසළ ගැටලුවට සහ ඩෙංගු උවදුරට විසඳුම් සෙවීම සඳහා දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරින් මහජනතාව සමඟ අත්වැල් බැඳගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

    ජනාධිපතිතුමා මැතිතුමා මේ බව අවධාරණය කළේ ඊයේ (20) මහරගම තරුණ සේවා ශ‍්‍රවණාගාරයේ පැවති කොළඹ දිස්ත්‍රික් විශේෂ පරිසර සමුළුව අමතමිනි.

    කැළි කසළ බැහැර කිරීමේදී පැවැත්වෙන මහජන විරෝධතාවලදී මැති ඇමතිවරුන් ද අනවබෝධයෙන් සහ වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබෙන බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා කසළ කළමනාකරණයේදී සහ ඩෙංගු මර්ධනයේ දී සියලුදෙනා තමන් වෙනුවෙන් සේම සමස්ත රට වෙනුවෙන්ම තම වගකීම් ඉටු කළ යුතු බව ද අවධාරණය කළේය.

    කැළි කසළ කළමනාකරණය සහ ප‍්‍රතිචකී‍්‍රකරණයේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාවට නංවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    කුණු ගෙනයාම භාරනොගන්නා බවට යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ යැයි පසුගියදා පුවත්පතක පළ වී තිබූ වාර්තාව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා එවන් ප‍්‍රකාශයක් සිදු කර නොමැති අතරම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තමා කිසිසේත්ම කුණු ඇඳීමට යුද හමුදාවට නියෝග කර නොමැති බවයි.

    කැළි කසළ කළමනාකරණය හා ඉවත් කිරීම් සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන එම වගකීම් නිසි ලෙස ඉටුකරනවාදැයි අධීක්ෂණය කිරීමේ වගකීම පමණක් යුද හමුදාව වෙත භාර දී තිබෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    කැළි කසළ කළමනාකරණය සහ ඩෙංගු මර්ධනය පිළිබඳ ප‍්‍රමුඛත්වය දී කටයුතු කරමින් ඒ පිළිබඳ ජනතාව දැනුවත් කරන පණිවිඩකරුවෙකු ලෙස කටයුතු කරන ලෙස ද මෙහිදී සියලු අමාත්‍යවරුන්ගෙන්, සංස්ථා, අධිකාරි සහ දෙපාර්තමේන්තු ප‍්‍රධානින් ඇතුළු රාජ්‍ය නිලධාරින්ගෙන් මෙන්ම විදුහල්පතිවරුන්ගෙන් ද ඉල්ලා සිටි ජනාධිපතිතුමා කැළි කසළ සහ ඩෙංගු මර්ධනය පිළිබඳ මෙතෙක් ඒකක පිහිටුවා නොමැති සියලු ආයතනවල වහාම එම ඒකක පිහිටුවා එහි ක්‍රියාකාරකම් අධීක්ෂණය කරන ලෙස ද ආයතන ප‍්‍රධානින්ට උපදෙස් දුන්නේය.

    උපදෙස් පති‍්‍රකා, චක‍්‍ර ලේඛ සහ නියෝගවලට වඩා මෙහිදි ඉතා වැදගත් වන්නේ මනුෂ්‍යත්වය සහ හෘද සාක්ෂිය අනුව තම වගකීම් ඉටුකිරීම බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

    දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරන පරිසර සමුළු වැඩසටහන් මාලාවේ ප‍්‍රථම සමුළුව ලෙස “ඩෙංගු මර්ධනය සහ කැළි කසළ ප‍්‍රශ්නය” මැයෙන් මෙම සමුළුව සංවිධානය කර තිබුණි. මෙහි දෙවන සමුළුව පැවැත්වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමිනි.

    ඩෙංගු රෝගය වළකාලීම සහ පාලනය සඳහා වන කඩිනම් වැඩපිළිවෙළ පිළිබඳව විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා මෙහිදී විශේෂ දේශනයක් සිදුකරනු ලැබීය. මොරටුව විශ්වවිද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඉංජිනේරු මහේෂ් ජයවීර මහතා ද කසළ කළමනාකරණය පිළිබඳ විශේෂ දේශනයක් සිදු කළේය.

    මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.පී. ලෝගේෂ්වරන්, බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණි තිලකසිරි යන මහත්වරුන් ද, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, ති‍්‍රවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya