ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    අධ්‍යාපනයේ දියුණුවට අයවැයෙන් පියවර ගණනාවක්

    ඔක්තෝබර් 21, 2017

    අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් අයවැයේදී තවත් පියවර ගණනාවක් ගැනීමට  බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.

    ඒ මහතා ප්‍ර‍කාශ කළේ රට දියුණුව කරා ගෙන යෑමට නම් ගුරු පුහුණුව, ගුරු ඩිප්ලෝමාව, උපාධිය ලබාගත් දක්‍ෂ ගුරුවරුන් රටට අවශ්‍ය බවයි.

    කොළඹ, අරලියගහ මන්දිරයේදී ඊයේ (20) ජාතික ශික්‍ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා ගුරුපත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    අගමැතිවරයා සිදු කළ කතාව පහත සඳහන් වේ.

    "අධ්‍යාපන ඇමැතිතුමාත්, මුදල් අමාත්‍යංශ ලේකම් තුමාත්, මමත් පසුගිය සතියේ ෆින්ලන්තයේ සංචාරයක නිරත වුණා. ෆින්ලන්තයේ සෑම ගුරුවරයෙක්ම පුහුණු ගුරුවරයෙක්. අංශ භාර ප්‍රධාන ගුරුවරයෙක් හෝ විදුහල්පතිවරයෙක් වීමට නම් පශ්චාත් උපාධියක් අවශ්‍යයි. එවැනි උපාධියක් නොමැතිව එම තත්ත්වයට පත් විය නොහැකියි. එම නිසා ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය ලෙස සැලකෙනවා.
    ගුරුවරයෙකු වීම සඳහා ෆින්ලන්තය තුළ වසර 4 ක පුහුණුවක් අවශ්‍ය වනවා. අපේ රටේ වෛද්‍යවරයෙක් වීම සඳහාත් ලබාදෙන්නේ වසර 5 ක පුහුණුවක්. නමුත් ෆින්ලන්තය ගුරුවරෙයෙකු නිර්මාණය කිරීම සඳහා වසර 4ක් කැප කරනවා. ඔවුන් ගුරු වෘත්තීයට අවධානය යොමු කරන්නේ ඒ ආකාරයටයි.
    1986 වසරේදී මම අධ්‍යාපන ඇමැති ලෙස කටයුතු කරන කාලයේ ෆින්ලන්තයේ නිල සංචාරයක නිරත වුණා. එකළ ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය ලෙස නොසැලකුණත් ඔවුන් ඒ කාලයේ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ඉතා උසස් ක්‍රමවේදයක් අනුගමනය කළා. එම සංචාරයේදී මම ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා.
    එම සංචාරයට මා සමග අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් කිහිපදෙනෙකුම සහභාගී වුණා. ෆින්ලන්තයේ ගුරුවරුන් පුහුණු කිරීමේ ක්‍රමවේදය දෙස එහිදී අවධානය යොමු කළ අප ශ්‍රී ලංකාවේ සියüම ගුරුවරුන්ට ගුරු පුහුණුව ලබාදිය යුතු යැයි එදා තීරණය කළා. 1986 දී ඊට අවශ්‍ය සියලූම නීති රීති සකස් කරමින්, ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන විද්‍යා පීඨ ආදිය ආරම්භ කිරීමට අප කටයුතු කළා.
    මේ සියලූ දේ අප යෙදෙව්වේ දශකයක් ,එකහමාරක් තුළ ශ්‍රී ලංකාවේ සියලුම පාසල්වලට පුහුණු ගුරුවරුන් ලබාදීමටයි. ඒ වගේම ගුරුවරුන්ට පශ්චාත් උපාධි ලබාදෙන වැඩසටහනක් ද අප ක්‍රියාත්මක කළා. 13 වන සංශෝධනය ඉදිරිපත් කිරීමේදී ගුරුවරු පුහුණු කිරීම ජාතික අධ්‍යාපන අමාත්‍යංශයට අයිති විය යුතු යැයි අප කොන්දේසියක් ද ඉදිරිපත් කළා.

    එදා  ෆින්ලන්තයට සංචාරය කිරීමෙන් වසර 31 ට පසුවයි මෙවර වර්තමාන අධ්‍යාපන ඇමැතිතුමා සමග මම ෆින්ලන්තය බලා සංචාරය කළේ. එම කාලය තුළ ෆින්ලන්තයේ ගුරුවරුන්ගේ අධ්‍යාපන මට්ටම විශාල ලෙස දියුණු වී තිබෙනවා. නමුත් විශ්ව විද්‍යාල උපාධිය හෝ ගුරු ඩිප්ලෝමාව නොමැති ගුරුවරු 60% ක් පමණ තවමත් අපේ රටේ සිටිනවා. එයයි අපේ රටේ සහ ෆින්ලන්තයේ ඇති වෙනස. අද වනවිට ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමවේදය සහිත රට ලෙස සැලකෙන්නේත් ෆින්ලන්තයයි.

    එදා අප ආරම්භ කළ ක්‍රමවේදය වසර 30 ක් අඛණ්ඩව ඉදිරියට ගෙන ආවා නම් ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමවේදය සහිත රටක් බවට පත් වන්නට ශ්‍රී ලංකාවටත් හැකියාව ලැබෙනවා. නමුත් වර්තමානයේ මැලේසියාව, තායිලන්තය ආදී රටවල් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියට ගොස් තිබෙන්නේ ඔවුන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ගුරුවරුන් පුහුණු කිරීමට ප්‍රමුඛතාවයක් ලබාදී කටයුතු කරන නිසයි. වියට්නාමයත් ඉදිරියේදී අපව පසුකර ගෙන යා හැකියි. ශ්‍රී ලංකාව සිටින්නේ මේ සියලූ රටවල්වලට පිටුපසින්. පසුගිය කාලය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට දේශපාලනඥයන් අපොහොසත්වීම මීට හේතුවයි.  එම නිසා ගුරුවරුන්ට පුහුණුව ලබාදීමේ ක්‍රමවේදයක් සැකසීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මම වර්තමාන අධ්‍යාපන ඇමැතිතුමාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ඉදිරියේදී ඊට අවශ්‍ය නීති කෙටුම්පත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරමින් නුපුහුණු ගුරුවරුන්ට පුහුණුව ලබාදීමටත්, පුහුණුව ලබාගත් ගුරුවරුන්ට පත්වීම් ලබාදීමටත් අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ද මම අධ්‍යාපන ඇමැතිතුමාට පවසනවා.
    අධ්‍යාපනයේ දියුණුව ළඟා කර ගත හැක්කේ ඒ ආකාරයටයි. අද පත්වීම් ලිපි ලබා ගන්නේ ගුරු වෘත්තිය වෙනුවෙන් සම්පූර්ණ පුහුණුවක් ලබාගත් අයයි. ගුරුවරුන්ගේ අධ්‍යාපන මට්ටම දියුණු වන විට ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන මට්ටම ද දියුණු වෙනවා. නමුත් රට තුළ නුපුහුණු ගුරුවරුන් ගුරු වෘත්තියේ යෙදෙනවා නම් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන මට්ටම පහළ බසිනවා. නුපුහුණු ගුරුවරුන් ගුරු වෘත්තියේ යෙදීමෙන් රටට ඇති වන අවාසිය එයයි. එසේ නම් නුපුහුණු ගුරුවරුන් රාජකාරියේ යොදවමින් අප සිදු කරන්නේ විශාල අපරාධයක්. පුහුණු ගුරුවරුන්, ඩිප්ලෝමාධාරී ගුරුවරුන් මෙන්ම උපාධිධාරී ගුරුවරුන් වැඩි ප්‍රමාණයක් රාජකාරී කරන්නේ රටේ ප්‍රධාන නගරවල පමණයි. මේ ආකාරයට ඉදිරියටත් කටයුතු කළහොත් කිසිවිටක පළාත් පාසැල් දියුණු කිරීමට අපට හැකියාව ලැබෙන්නේ නැහැ.
    පුහුණු ගුරුවරුන් බදවා ගැනීමට තිබූ අවස්ථාවන් පැහැර හැරීම සම්බන්ධයෙන් පළාත් සභා ආයතනත් මීට වගකිව යුතුයි. නමුත් දැන් ෙදාස් පවරා පළක් නැහැ. සියලූම නුපුහුණු ගුරුවරුන්ට අවශ්‍ය පුහුණුව ලබාදීමයි දැන් සිදු කළ යුතු වන්නේ. නමුත් අනාගතයේදී සියලූ ගුරුවරුන් බදවා ගත යුත්තේ නිසි පුහුණුවක් ලබාදීමෙන් පසුවයි. ඊට අදාළ නීති කෙටුම්පත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉදිරිපත් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.
    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි ජාතික ආණ්ඩුවක් ඇති කර ගෙන තිබෙනවා. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටත්, මම එක්සත් ජාතික පක්‍ෂයටත් අයිති වූවත් අප දෙදෙනාටම පොදු එක් කරුණක් තිබෙනවා. එනම් අප දෙදෙනාම ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලැබූ අයයි. නිදහස් අධ්‍යාපන ක්‍රමවේදය හේතුවෙන් එදා රට තුළ පුහුණු ගුරුවරුන් සිටියා.  අප ඒ තත්ත්වය නැවත ඇති කළ යුතුයි.
    අද දිනයේදී පත්වීම් ලබාගන්නා ඔබට විශාල කාර්ය භාරයක් පැවරෙනවා. රටේ පාසැල් තුළ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හොදින් අධ්‍යාපනය ලබාදීමටයි ඔබ පුහුණු කර තිබෙන්නේ. ඔබ දක්‍ෂ ගුරුවරයෙකු නම් එහි ප්‍රතිඵල ඉදිරියේදී අපට බලාපොරොත්තු විය හැකියි.
    අප සියලු දෙනා අද මෙම තත්ත්වයන්වල සිටින්නේ පාසල් සමයේදී දක්‍ෂ ගුරුවරුන් අපට අධ්‍යාපනය ලබාදුන් නිසයි. එසේ නම් දක්‍ෂ ගුරුවරයෙක් වීමට අවශ්‍ය මූලික පුහුණුව දැන් ඔබට ලබාදී තිබෙනවා. ඒ ලබාදුන් පුහුණුවෙන් ඔබ සම්පූර්ණ ප්‍රයෝජනය ලබාගත යුතුයි.  මෙම පුහුණුව ගුරු ඩිප්ලෝමාවට පමණක් සීමා නොකරන ලෙසත්, මේ හරහා තේරී පත් වන දක්‍ෂ ගුරුවරුන්ට උපාධිය සහ පශ්චාත් උපාධිය දක්වා යාමට අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසත් මම අධ්‍යාපන ඇමැතිතුමාට පැවසුවා. නව අධ්‍යාපන ප්‍රතිසංවිධානයන් යටතේ ඔබ සියලූදෙනාට පත්වීම් සහ උසස්වීම් ලබාදිය යුතුයි.
    ඉදිරි දශක දෙක තුන තුළ ඔබටත් වඩා දක්‍ෂ ශිෂ්‍ය ප්‍රජාවක් රට තුළ බිහි කිරීමට නම් අධ්‍යාපන විද්‍යා පීඨ තුළ ඔබ ලබාගත් පුහුණුව සහ දැනුම භාවිත කළ යුතුයි. අද පත්වීම් ලබාගන්නා ඔබ තවත් වසර 30 ක් පමණ ගුරු සේවයේ කටයුතු කරාවි.  එසේ නම් 2050 පමණ වන විට මේ රටේ ජනයගහණයෙන් අතිවිශාල පිරිසක් දැනුමෙන් සන්නද්ධ කරමින්, පිරිපුන් සමාජයක් බිහි කරමින් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට ඔබට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.
    දකුණු අසියානු කලාපය වෙත අවධානය යොමු කරන විට තවමත් වැඩිම පිරිසක් පාසල් අධ්‍යාපනය ලබන රට ලෙස සැලකෙන්නේ ශ්‍රී ලංකාවයි. නමුත් ගුරු පුහුණුව ලබාදීම ආදී අංශයන්ගෙන් රට තුළ ගැටළු පවතිනවා. එම ගුරු පුහුණු ලබාදීමේ ක්‍රියාවලියත් අප සාර්ථක කර ගත හොත් තායිලන්තය, මැලේසියාව ආදී රටවල් පසු කරමින් වේගයෙන් සංවර්ධනයකරා යෑමේ හැකියාව අපට ලැබෙනවා. ඒ සඳහා යන ගමනේ කෙටි කාලීන වගකීම්, අභියෝගය අධ්‍යාපන අමාත්‍යංශයට පැවරෙන අතර, එහි දිගුකාලීන වගකීම් සහ අභියෝග අද පත්වීම් ලබාගන්නා ඔබට පැවරෙනවා.  එම අභියෝගය භාරගැනීමට ඔබ සූදානම් විය යුතුයි.

    එසේ නම් මීළඟ දශක කිහිපය තුළ රට වෙනුවෙන් හොඳ පුරවැසියන් බිහිකිරීම ඔබට භාර කරනවා. රට දියුණු කරමින්, ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරමින්, ධනවත් ආර්ථිකයක් ඇති කර ගනිමින් ඉදිරියට යාමට හැකි වන්නේ රට තුළ හොඳ අධ්‍යාපන ක්‍රමවේදයක් තිබෙනවා නම් පමණයි. මේ රටේ විශාලම සම්පත රටේ මානව සම්පතයි. එම මානව සම්පතෙන් උපරීම ප්‍රයෝජන ලබාගනිමින් රට දියුණු කිරීම සඳහා නැණවත් සමාජයක් බිහි කිරීමේ වගකීම ඔබට භාර කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya