ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ජනපතිගෙන් සියලු උගතුන්ට සහ බුද්ධිමතුන්ට ආරාධනයක්

    ඔක්තෝබර් 21, 2017

    පවතින ගැටලූ නිරාකරණය කර ගනිමින් රට හමුවේ ඇති ඉදිරි අභියෝග ජය ගැනීම සඳහා සිය දැනුම සහ අත්දැකීම් තුළ සාමූහික වැඩපිළිවෙළකට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සියලු උගතුන්ට සහ බුද්ධිමතුන්ට ආරාධනා කරයි.

    ඊයේ (20) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ,ශී‍්‍ර ජයවර්ධනපුර ප‍්‍රදීප ප‍්‍රණාම, සම්මාන උළෙල අමතමින් ජනාධිපතිතුමා මෙම ආරාධනාව සිදු කරනු ලැබීය.

    රටේ ඉදිරි ගමන වෙනුවෙන් උගතුන් සහ බුද්ධිමතුන් වෙත පැවරී ඇති කාර්යභාරය අද කෙතරම් දුරට ඉටුවනවාද යන්න ප‍්‍රශ්න සහගත බව පැවසූ ජනාධිපතිතුමා සියලු වගකීම් දේශපාලනඥයින්ට පමණක් පැවරෙන බවට සමාජය තුළ වූ මතය වහා නිවැරදි විය යුතු බව ද ප‍්‍රකාශ කළේය.

    රටක ඉදිරි ගමනේදී උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ හ‌ඬ අත්‍යාවශ්‍ය අතර ඒ සඳහා නොපමාව සිය කාර්යභාරය ඉටුකරන ලෙස ද ජනාධිපතිතුමා  සියලු විද්වතුන්ට මෙහිදී ආරාධනා කළේය.

    ජනවාර්ගික ගැටලුවේදී මෙන්ම සංහිඳියා වැඩපිළිවෙළේදී වඩාත් සාර්ථක විසඳුමකට එළැඹිමට උගතුන් සහ බුද්ධිමතුන් ඉතා අපක්ෂපාතී සහ මධ්‍යස්ථ ලෙස සිය වගකීම් ඉටුකිරීමට ඉදිරියට පැමිණිය යුතු බව පැවසූ ජනාධිපතිතුමා අනෙකුත් ජනතා ගැටලු විසඳීමේදී ද ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් ඉතා වැදගත් බව කියා සිටියේය.

    අපේ රට උගතුන් බිහිකිරීමේදී ලොව වෙනත් රටකට දෙවැනි නොවුණ ද තම රට පිළිබඳ නොසිතා උගතුන් සහ බුද්ධිමතුන් රට හැරයාම සංවර්ධන කි‍්‍රයාවලියේදී බරපතළ අභියෝගයක් වී ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා දේශපාලනඥයින් ලෙස ඊට විසඳුම් ලබාදීමට යාමේදී එය දේශපාලන මුහුණුවරක් ගනුලබන්නේයයි හඳුන්වාදීමට ඇතැමුන් උත්සහ කරන බව ද ප‍්‍රකාශ කළේය.

    කෙසේ වෙතත් තම උපන් රට වෙනුවෙන් වගකීම් ඉටුකිරීමට සියලු උගතුන්ට සහ බුද්ධිමතුන්ට කාලය එළැඹ ඇති බව ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

    ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් බිහි වූ විශිෂ්ටයින් ඇගයීම වෙනුවෙන් ශී‍්‍ර ජයවර්ධනපුර ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ මෙම උළෙලේදී ආදි විද්‍යාර්ථීන් 42 දෙනෙකු ජනාධිපතිතුමා අතින් ප‍්‍රදීප සම්මානයෙන් පිදුම් ලැබූහ.

    සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ කොළඹ නව කෝරළයේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය දිවියාගහ යසස්සි නායක හිමිපාණන් වහන්සේ සහ ශී‍්‍ර බෝධිරාජ ධර්මායතනයේ විහාරාධිපති පූජ්‍ය  ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ ද අමාත්‍ය එස්.බී. දිසානායක, රංජිත් සියඹලාපිටිය, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර යන මහත්වරුන් ද ඇතුළු විශිෂ්ටයින් රැසක් සම්මානයෙන් පි`දුම් ලැබූහ.
    ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය සම්පත් අමරතුංග, ශී‍්‍ර ජයවර්ධනපුර ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය, එහි ලේකම් ආචාර්ය අබේරත්න බණ්ඩාර, ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ යන මහත්වරුන් ඇතුළු ආදි විද්‍යාර්ථීන් රැසක් මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya