ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    උගතුන් සහ බුද්ධිමතුන් රට හැර යාම බරපතළ ගැටලුවක්-ජනපති

    ජූනි 08, 2018

    උගතුන් සහ බුද්ධිමතුන් රට හැර යාම බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බව ජනපති පවසයි

     

    බස්නාහිර පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප‍්‍රදානෝත්සවයේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව (නෙළුම් පොකුණ රඟහලේදී)

    අපේ රටේ සංවර්ධනයේ ප‍්‍රමුඛතාවයේ සිටින බස්නාහිර පළාතේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, හෙට දවස වෙනුවෙන් දරුවන් භාරගන්නා ඔබ වැනි පින්වන්තවූත්, භාග්‍යවන්තවූත් වෘත්තියකට එක්වන තරුණ උගත් පිරිසක් විදියට අද ඔබට මේ උතුම් වෘත්තියේ පත්වීම් දෙන අවස්ථාවේ ඔබ සමග එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

    ඔබ දන්නවා ලෝකයේ තිබෙන සේවාවන්, වෘත්තීන් අතරේ උතුම්ම සේවාව සහ වෘත්තිය ගුරු වෘත්තිය බව. පෙර රජ දවස රජ කුමාරවරුන් අධ්‍යාපනය ලැබූ අයුරු විවිධ සිදුවීම්, අවස්ථාවන්, විවිධ පරිසරයන් ඔබ හොඳින් දන්නවා. අද පැයෙන් පැය වෙනස් වන අදි තාක්ෂණික ලෝකයේ ඇතැම් විට ගුරුවරයාට වඩා දරුවා ඉදිරියෙන් සිටින යුගයක ඔබ මේ උතුම් වෘත්තිය භාරගන්නේ. දරුවන්ව, දෙමව්පියන් පාසලට එවන්නේ තමන් වගේම ඔබත් දරුවන්ට ආදරය කර ඒ වගකීම ඔබ දරන බව ඔවුන් විශ්වාස කරන නිසා. ඒ නිසා මේ වෘත්තීයේ තිබෙන වැදගත්කමත්, වගකීමත් ඔබ පැහැදිලිව දන්නවා. රටේ අනාගතය සැමවිටම අධ්‍යාපනය තුළයි. දැනුමෙන් සපිරි සමාජයක්. දැනුමෙන් පරපූර්ණ වූ ජාතියක්. දැනුමෙන් සන්නද්ධ වූ පුරවැසියන් සිටින රටක්. දැනුම ආයෝජනය කළ පමණික් දිර්ඝ කාලීනව රටක, ජාතියක අනාගතය වඩාත් සුබවාදී වෙනවා. උගතුන් වැඩි සමාජයක්, දැනුමෙන් වැඩි සමාජයක් තමයි රටක් දියුණු කරන්න අත්‍යාවශ්‍ය වන්නේ. ඒ තුළ සමාජය හඳුනාගැනීම, මිනිසුන් හඳුනාගැනීම, ප‍්‍රශ්න හඳුනාගැනීම, තමා විසින් තමා හඳුනාගැනීම මෙවැනි කරුණු ගණනාවකට අවශ්‍ය වන්නේ උගතුන් දැනුමෙන් පිරි පුරවැසියන්. ඒ නිසා ඔබේ සේවය එක් පැත්තකින් සේවයක්. තවත් පැත්තකින් වෘත්තියක්. මම ඔබට සුබපතනවා. ආශිර්වාද කරනවා. ඔබ භාරගන්නා රට ඔබ භාරගන්නේ දරුවන්, රටක් සහ ජාතියක අනාගතයයි.

    පන්ති කාමරයට යන ගුරුවරයාට අද දරුවා අභියෝගයක් වී තිබෙන්නේ. එසේවී තිබෙන්නේ පන්ති කාමරය පිටතත් නව තාක්ෂණික මෙවලම් තුළත් දරුවා දැනුම සොයා ගන්නා දරුවා දැනුමෙන් පරිපූර්ණ වන නිසා. දරුවා දැනුම ගවේෂණය කරන කෙනෙක් නිසා. ඒ නිසා සැමවිටම ඔබ පන්තියට යන විට ඒ අභියෝගයට මුහුණදීමට සූදානම්වූ පුද්ගලයෙක් විදියට කටයුතු කිරීමට ඔබ සැමවිටම ඒ වගකීම ඉටු කරයි කියා අප විශ්වාස කරනවා.

    අධ්‍යාපන ලේකම්තුමාගේ කතාව මම අහගෙන සිටියා. එතුමා සඳහන් කළා බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු පිළිබඳව. ඒ වගේම එහි පසුබිම. බස්නාහිර පළාතේ විතරක් ප‍්‍රසූත නිවාඩු සඳහා පන්ති කාමරවල දවසකට 1500 ක් ගුරුවරියන් නැහැ. සිටින ගුරුවරුන්ගෙන් මානසික ව්‍යාකූලතාවයන් නිසා 400 ට වැඩිය පන්ති කාමරවල නැහැ. ගුරුවරුන් පිටරට යාම සේවයෙන් ඉවත්වීමයි කියා ගණන් හදන්න බැහැ. පුරප්පාඩුවක් වෙන්නේ නැති නිසා.

    ගිය මාසයේ බිංගිරියේ අධ්‍යාපන විද්‍යා පීඨයක උත්සවයකට සහභාගිවී මම කතා කරන විට සඳහන් කළා, ලංකාවේ දෙලක්ෂ හැටදහසක්, පනස් දහසක් වගේ ඉන්නේ ගුරු සේවයේ, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණ වාර්තා තිබෙනවා පැහැදිලිවම එයින් සියයට 08ක් පමණ ගුරු වෘත්තියට නුසුදුසු අය කියලා. මේ අභියෝගය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. අධ්‍යාපන ලේකම්තුමා කියපු කාරණා අනුව බස්නාහිර පළාතේ තත්ත්වය එය නම්, අනෙක් පළාත්වල මොන විදියට ඇත්ද? එහෙමනම් අපේ රජය නිදහස් අධ්‍යාපනයට වැයකරන අසීමිත මුදල් හා සම්පත්, රාජ්‍ය ප‍්‍රතිපත්තිය තුළ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම යන කරුණු සැලකිල්ලට ගත්විට මේ සේවාවන්හි පෙනෙන ගැටලුකාරී තත්වයන්, ප‍්‍රශ්න නිරාකරණය කරගැනීමට රජය හා පළාත්සභා, අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලු ආයතනවල පුළුල් කාර්යක්ෂම වැඩපිළිවෙළක අවශ්‍යතාවය මම දකිනවා. එහෙම නැත්නම් අපේ දරුවන් පිළිබඳව හෙට දවස, අභියෝගාත්මක වෙනවා.

    මෙහිදී පත්වීම් ලබාදෙන සේවාවන්වල ලැයිස්තුව මම දැක්කා. විෂයන් පිළිබඳව මම දැක්කා. දමිල මාධ්‍ය තිබෙනවා. අපේ රටේ විශේෂයෙන්ම දමිල මුස්ලිම් පාසල්වල ගුරු හිඟය ඉතා උග‍්‍රයි. බස්නාහිර පලාත් වශයෙන් ගත්තාම මේ ගුරු සේවාවේ ගැටලු ගත්විට අප රටක් වශයෙන් කුමන තත්ත්වයේ ඉන්නවාද කියලා හිතන්නට ඕන. මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ ඊයේ පෙරේදා සිට නොවේ. දීර්ඝ කාලීනව ඇතිවුණ තත්ත්වයක්. අධ්‍යාපනයේ පමණක් නොවේ අනෙකුත් සේවාවල තිබෙන ප‍්‍රශ්නයක් උගතුන් රටහැර යාම. අනෙක් කිසිම රටක නැති නිදහසක් ලංකාවේ තිබෙනවා. ඕනෑම කෙනෙකුට පිටරට යන්න පුළුවන් ලංකාවේ අධ්‍යාපනය හදාරලා, ගිහින් තමන්ගේ දැනුම සේවාව ලබා දෙන්න පුළුවන්. නමුත් සමහර රටවල එහෙම බැහැ. ව්‍යවස්ථාවෙන්ම තිබෙනවා, නීතිගත කරලා තිබෙනවා වෛද්‍යවරුන් නම්, ඉංජිනේරුවරුන් නම් රටට අවශ්‍ය ගණනට වඩා ඉන්නවා නම් ඒ වැඩි ප‍්‍රමාණයට පමණක් යන්න දෙනවා. අනෙක් අයට යන්න දෙන්නේ නැහැ. නමුත් අපේ රටේ ඒකට සීමාවක් නැහැ. ඕනෑම කෙනෙක් නිදහසේ පිටරට යනවා. ඒ තුළ උගතුන්ගේ, විද්වතුන්ගේ, තාක්ෂණික සේවාවල සංවර්ධනයට විශාල ප‍්‍රශ්නයක් වෙලා තිබෙනවා. මේවාට නීති රීති හදන්න ගියාම දේශපාලන ප‍්‍රශ්න කරගන්නවා. වැඩ වර්ජන පටන් ගන්නවා. ඉංජිනේරුවරුන්ට, වෛද්‍යවරුන්ට රට යන එක සීමා කලොත් විශ්වවිද්‍යාල ළමයින්වත් පාරට බස්සන්න බලාගෙන ඉන්නේ. නමුත් රටක් වශයෙන් මේ ඇතිවන ප‍්‍රශ්න විසඳාගන්න සෑම කෙනෙක්ගේම සහය, වුවමනාව තියෙන්න ඕන. තමන් විසින් තමන් ගැන පමණක් සිතා, දේශපාලන වාසි ගැන සිතා, කොහොමද රටක් ගොඩනගන්නේ කියලා හැමෝම සිතන්න ඕන.

    මා විශ්වාස කරනවා මේ ගුරු පත්වීම්ලාභීන් දරුවා හඳුනාගන්නවා වගේම අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ තිබෙන ගැටලුත් හඳුනා ගනීවි කියලා. ඔබ වාසනාවන්තයි, ඔබ දරුවන් භාරගන්නවා කියන්නේ ජාතියේ අනාගතය භාරගන්නවා කියන එකයි. ගුරු වෘත්තිය කියන්නේ උතුම් වෘත්තියක්. ඒ තුළ ඔබ දරුවා හඳුනාගෙන, අධ්‍යාපනය හඳුනාගෙන, රටේ තිබෙන්නා වූ අනෙක් ගැටලු හඳුනාගෙන ඔබේ දැනුමෙන්, ඔබේ බුද්ධියෙන් රට හා දරුවන් වෙනුවෙන් ඒ උතුම් වගකීම ඉටුකරයි කියලා මා විශ්වාස කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya